fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මියගිය රංගන ශිල්පිනී හයසින්ත් විජේරත්න මහත්මිය ගමන්ගත් වෑන් රථයේ රියදුරා රිමාන්ඩ්

ITN News Editor
By ITN News Editor ජූලි 31, 2021 19:48

මියගිය රංගන ශිල්පිනී හයසින්ත් විජේරත්න මහත්මිය ගමන්ගත් වෑන් රථයේ රියදුරා රිමාන්ඩ්

ජනප්‍රිය රංගන ශිල්පිනී හයසින්ත් විජේරත්න මහත්මිය රිය අනතුරකින් අභාවප්‍රාප්ත වුණා.  රූගත කිරීමක් අවසන් කර කොළඹ දක්වා වෑන් රථයකින් පැමිණෙන අතරතුරදීයි නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ලිදුල නගරය අසලදී අද අලුයම මෙම අනතුර සිදුව ඇත්තේ. අඩි 200 ක පමණ ප්‍රපාතයකට වෑන් රථය පෙරලී තිබෙනවා. හයසින්ත් විජේරත්න මහත්මිය ජීවිතක්ෂයට පත්වනවිට 75 වන වියේ පසුවුණා. වෑන් රථයේ රියදුරාට කිසිදු තුවාලයක් සිදුවී නොමැති බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

රියදුරුට නින්දයාම නිසා මෙම අනතුරු සිදුව ඇති බව මූලික විමර්ශන වලදී හෙළිවුණා. වෑන් රථයේ රියදුරා සැකපිට අත්අඩංගුවට ගෙන ලබන 3 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

විජේරත්න මහත්මියගේ දේහය පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය නුවරඑළිය මහ රෝහලේ දී සිදුකෙරුණා. බරපතල තුවාල ලබා සිටි ඇය අනතුර සිදුවූ ස්ථානයේ සිට ප්‍රධාන මාර්ගයට ත්‍රි රෝද රථයකින් රැගෙන විත් සුවසැරිය ගිලන් රථයකට නංවන අවස්ථාවේදීත් සිහිය තිබූ බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. තුවාලකාරිණිය ලිදුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ප්‍රතිකාර ලබාදෙමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති බව ලිදුල පොලීසිය කියාසිටියා.

පෙම්බර මදූ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි හයසින්ත් විජේරත්න රංගන ශිල්පිනිය චිත්‍රපට 25 කට පමණ සිය රංගන දායකත්වය ලබාදී තිබෙනවා. ඉන්දුට මල්මිටක් , තුන්වෙනි යාමය, සුරබි දෙන, බිතුසිතුවම්, හිත හොදනම් වරද්දින්නෑ, අඳුරු සෙවනැලි, හෝගානා පොකුණ ඇතුළු චිත්‍රපට ගණනාවක අමතක නොවන චරිත රැසකට ඇය පණපෙව්වා. මෙරට පළමු ටෙලිනාට්‍ය වන දිමුතු මුතු හි රංගනයෙන් එක්වූ හයසින්ත් විජේරත්න ශිල්පිනිය සුබ ප්‍රාර්ථනා, හිම රාත්‍රිය, චාතුර්යා ඇතුළු ටෙලිනාට්‍ය රැසක සිය රංගන කෞෂල්‍ය ප්‍රදර්ශනය කළා.

ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය ටෙලිවෘතාන්ත රැසකට ද රංගන දායකත්වය ලබාදුන් ඇය සත්සර රංගන, ඒමි, හාරත හේරා, හදවිල අරණ වැනි ටෙලිනාට්‍ය ඔස්සේ ප්‍රේක්ෂක මතකයේ නොමැකෙන සලකුණක් බවට පත්වුණා. ස්වාධීන රූපවාහිනියේ සත්සර රංගන නාට්‍ය මාලාවේ විවිධ චරිත නිරූපනය කරමින් ඇය දීර්ඝ කාලයක් ලබාදුන් දායකත්වය සදානුස්මරණීයයි. වේදිකා නාට්‍ය ක්ෂේත්‍ර යේ ද සිය රංගන කුසලතාව මනාව පෙන්නුම් කළ හයසින්ත් විජේරත්න ශිල්පිනිය මනරංජන වැඩවර්ජන, ගෝනුස්සෝ, ජුලියස් සීසර් ආදී වේදිකා නාට්‍ය ගණනාවක විවිධ චරිත නිරූපනය කළා. ඇයගේ දේහය පිළිබද අවසන් කටයුතු පසුව දැනුම්දෙන බවයි පවුලේ ඥාතීන් සදහන් කළේ.

 

ITN News Editor
By ITN News Editor ජූලි 31, 2021 19:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්