fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල ඇරඹෙයි – ශ්‍රී ලංකාවටත් පදක්කම් බලාපොරොත්තු

ITN News Editor
By ITN News Editor ජූලි 23, 2021 17:36

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල ඇරඹෙයි – ශ්‍රී ලංකාවටත් පදක්කම් බලාපොරොත්තු

විශ්වයේ මහා ක්‍රීඩා සැණකෙළිය විදිහට  සැළකෙන ඔලිම්පික් තරගාවලිය කොරෝනා අවධානම අතරතුරම ජපානයේ දී ආරම්භ කෙරුණා.

ලෝකයම බලාගෙහ හිටපු 32 වන ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවය ආරම්භ කෙරුණේ අපේ රටේ වෙලාවෙන්  පස්වරු හතරයි තිහටයි.

අද ආරම්භ  කරපු ඔලිම්පික් උළෙල සදහා සත්කාරකත්වය ලබා දෙන්න ජපානයට අවසර හිමි වුණේ 2013 අවුරුද්දේදි. පසුගිය අවුරුද්දේ පවත්වන්න තිබුණු ඔලිම්පික් උළෙල කොරෝනා නිසා මේ විදිහට කල් ගියා.

වසර 4 කට වරක් පැවැත්වෙන ලොව මහා ක්‍රීඩා සැණකෙළිය වන ඔලිම්පික් තරගාවලිය ජපානයේ ටෝකියෝ අගනුවර ජාතික ක්‍රීඩාංගනයේ දී අති උත්කර්ශවත් අයුරින් අද ආරම්භ වුණේ ජපාන අග්‍රාමාත්‍ය යොෂිඩේ සුගාගේ ප්‍රධානත්වයෙන්.  හැගීම් සමග එක්ව පෙරට යන්න මෙවර ඔලිම්පික් උළෙලේ තේමාව වී තිබෙනවා. සමාරම්භක උත්සවය රාජ්‍ය නායකයින් ඇතුලුව සම්භාවනීය අමුත්තන් 950 දෙනෙකුට පමණක් සීමා වීම විශේෂත්වයක්. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම අවස්ථාවට එක් වුණා. මෙම වසරේ පැවැත්වුවද ඔලිම්පික් උළෙල නම් කර ඇත්තේ 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල ලෙසටයි.  සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ප්‍රේක්ෂක සහභාගීත්වයෙන් තොරව මෙවර ඔලිම්පික් තරගාවලිය පැවැත්වීමට තරග සංවිධායක කමිටුව තීරණය කර තිබෙනවා.

1896 වසරේ ග්‍රීසියෙන් ඇරඹි ඔලිම්පික් උළෙලේ මෙවර සත්කාරකත්වය දරණ ජපානය එම අවස්ථාව ලබාගත්තේ තුර්කියේ ස්තාන්බූල් සහ ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවර සමග තරගවැදීමෙන් අනතුරුවයි. ඔලිම්පික් තරගාවලියක් සදහා ජපානය සත්කාරකත්වය දරණ දෙවන අවස්ථාව මෙය වන අතර ඔවුන් මීට පෙර 1964 දී ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් සදහා සත්කාරකත්වය ලබාදුන්නා. රටවල් 204 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11,427 ක් ඔලිම්පික් තරගාවලිය සදහා ඉදිරිපත් වනවා. ක්‍රීඩා තිස්තුනකට අදාල ඉසව් 339 ක් පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ. අලුතින් ක්‍රීඩා ඉසව් 5 ක්ද මෙවර ඇතුළත්කර තිබීම විශේෂත්වයක්.

ජපානය පරිසරයට දක්වන ආදරය ලොවටම කියාපාමින් ඔලිම්පික් පදක්කම් නිෂ්පාදනය සදහා ජපාන වැසියන්, භාවිතයෙන් ඉවත් කළ ජංගම දුරකතන මිලියන 6 කට අධික සංඛ්‍යාවක් යොදාගෙන තිබෙනවා. ඒවායේ ලෝහ කොටස් ටොන් අසූදහසක් වසර දෙකක කාලයක් ඇතුළත මේ සදහා එකතුකර තිබෙනවා. එමෙන්ම ක්‍රීඩා උළෙලේ විචිත්‍රවත් පහන නිර්මාණය කිරීම සදහා ද එම ජංගම දුරකතනවල ඉතිරි කොටස් යොදාගෙන ඇති බවයි පැවසෙන්නේ. ක්‍රීඩා උළෙල සදහා සහභාගිවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැදී සිටින ඔලිම්පික් ගම්මානයේ ඇදන් නිෂ්පාදනය කිරීම සදහා කාඩ්බෝඩ් භාවිත කර තිබීම ද විශේෂත්වයක්. මෙවර ඔලිම්පික් උළෙල සමස්ත පිරිවැය ඇමෙරිකානු ඩොලර් බිලියන 20 ක් වන බවද සදහන්. කෙසේ වෙතත් මේ මස පළමුවනදා සිට ඔලිම්පික් ගම්මානයෙන් කොරෝනා ආසාදියින් 90 කට වැඩි පිරිසක් වාර්තාවී තිබෙනවා.

මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලට වැඩිම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගිත්වය ඇමරිකාවෙන් වන අතර එම සංඛ්‍යාව 613 ක්. සත්කාරක ජපානය එම සටහනේ දෙවනි ස්ථානයට පත් වී තිබෙන්නේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 552 ක් ඉදිරිපත් කරමින්. අසල්වැසි ඉන්දියාව ක්‍රීඩක ක්‍රීඩිකාවන් 120 ක් ඔලිම්පික් උළෙලට ඉදිරිපත් කර තිබෙනවා. ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් නව දෙනෙකු අයත්.   නිලූක කරුණාරත්න,  මැටිල්ඩා කාල්සන්, මිල්කා ගෙහානි,  නිමාලි ලියනආරච්චි,  යුපුන් අබේකෝන්, ටෙහානි එගොඩවෙල ඉලක්කයට,  මැතිව් අබේසිංහ,  අනිකා ගපූර්  සහ චාමර ධර්මවර්ධන එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් වනවා.

ඔලිම්පික් උළෙලකට ශ්‍රී ලංකාව  නියෝජනය කරමින් ඩන්කන් වයිට් සහ සුසන්තිකා ජයසිංහ පදක්කම් දිනා ගැනීමට සමත් වුණා. දින විස්සක් පුරා ජපානයේ සිට ප්‍රේක්ෂක සිත් සතන් ඇද බැද ගනිමින් පැවැත්වීමට නියමිත ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ලබන 8 වනදා අවසන් වීමට නියමිතයි.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 23, 2021 17:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්