ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වර්තමාන කාර්ය සාධනය විමර්ශනය කිරීමට අද (06) පාර්ලිමේන්තුවේ පැවැත්වෙන පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) වෙත කැඳවා ඇති බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
එයට අමතරව ලබන ජූලි 07 වැනිදා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මෙන්ම 08 වැනිදා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ද කෝප් කමිටුව වෙත කැඳවා තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් කෝප් කමිටුව රැස්වීමට නියමිතය.
කෝප් කමිටුවට අමතරව පාර්ලිමේන්තු කාරක සභා සහ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැසක් මේ පාර්ලිමේන්තු සතිය තුළදී රැස්වීමට නියමිත බවද මහ ලේකම්වරයා තවදුරටත් සඳහන් කළේය.
ඒ අනුව, ජූලි 06 වැනිදා ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවද, ජූලි 07 වැනිදා කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව සහ කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවද පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතය.
එමෙන්ම, ජූලි 06 වැනිදා පාර්ලිමේන්තුවේ ආචාරධර්ම සහ වරප්‍රසාධ කමිටුව රැස්වීමට නියමිතව තිබේ. ජූලි 07 වැනිදා පාර්ලිමේන්තුවේ උසස් නිල තල පිළිබඳ කාරක සභාව සහ මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුහය සහ මැතිවරණ නීති රීති වලට යෝජිත ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවද එහි සභාපති සභානායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වෙනු ඇත.