අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙස පත් කිරීමට ජනාධිපතිතුමා කර තිබූ යෝජනාවට පාර්ලිමේන්තු සභාව එකගත්වය පළකළ බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පවසනවා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සිසිර ද ආබෘ මහතා විශ්‍රාම ගැනීමෙන් ඇතිවූ පුරප්පාඩුව සදහායි ඔබේසේකර මහතා නම්කර තිබෙන්නේ.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පැවති පාර්ලිමේන්තු සභාවේදී මෙම තීරණය ගෙන තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සහ පාර්ලිමේන්තු මන්ත්‍රි කබීර් හෂීම් යන මහත්වරුන් ඊට සහභාගී වුණා. අභියාචනාධිකරණ විනිසුරු කේ පී ප්‍රනාන්දු මහතා අභියාචනාධිකරණයේ සභාපති ලෙස පත් කිරීම සදහා එවා තිබූ යෝජනාවට ද පාර්ලිමේන්තු සභාවේ එකගතාව හිමිව තිබෙනවා. ඒ මහතා අභියාචනාධිකරණයේ සභාපති ලෙස පත්කිරීම හේතුවෙන් ඇති වන අභියාචනාධිකරණ විනිසුරු ධුරයේ පුරප්පාඩුව සදහා මහාධිකරණ විනිසුරු සසී මහේන්ද්‍රන් මහතා පත් කිරීමට ද පාර්ලිමේන්තු සභාව එකගවූ බව ධම්මික දසනායක මහතා පවසනවා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සිසිර ද ආබෘ මහතා විශ්‍රාම ගැනීම නිසා ඇතිවූ අධිකරණ සේවා කොමිසන් සභාවේ සාමාජික ධුරයේ පුරප්පාඩුව සදහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල් ටී බී දෙහිදෙණිය මහතා පත් කිරීමට පාර්ලිමේන්තු සභාව එකගත්වය පළකලා.