fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අයහපත් කාලගුණය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 17 දක්වා ඉහළට

ITN News Editor
By ITN News Editor ජූනි 7, 2021 14:39

අයහපත් කාලගුණය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 17 දක්වා ඉහළට

ප්‍රදේශ රැසකට බලපෑ අයහපත් කාලගුණයෙන් පවුල් 67613 කට අයත් පුද්ගලයන් 271110 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා. කාලගුණය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 17 දක්වා ඉහළ ගියා.

දිවයිනේ දිස්ත්‍රික් 10 කට අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ල වුණා. ඒ ගම්පහ , රත්නපුර ,කොළඹ ,පුත්තලම , කලුතර , නුවරඑළිය, කෑගල්ල, මහනුවර , කුරුණෑගල හා ගාල්ල දිස්ත්‍රික්වලටයි. එම දිස්ත්‍රික්වල නිවාස 17 ක් පූර්ණ වශයෙන් හානියට පත්ව ඇති අතර අර්ධ හානි සිදුව ඇති නිවාස සංඛ්‍යාව 978 ක්. සුරක්‍ෂිත මධ්‍යස්ථාන 106 ක පුද්ගලයන් 26806 දෙනෙකු තාවකාලිකව රඳවා සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ.

මේ අතර බස්නාහිර , සබරගමුව හා වයඹ පළාත්වලටත් ගාල්ල ,මාතර , නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්වලටත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට තාවකාලික තද සුළං හා අකුණු අනතුරු සිදු විය හැකි බැවින් විමසිලිමත් වන ලෙසයි ජනතාව දැනුවත් කෙරෙන්නේ.

අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික් 8 කට නිකුත් කර ඇති රතු නිවේදන දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

ජල ගැලීම්වලින් ගම්පහ දිස්ත්‍රික්කයට වැඩි බලපෑමක් එල්ල වූ අතර බොහෝ ප්‍රදේශ රැසක් තවමත් ජලයෙන් යටව පවතිනවා. ගම්පහ ගනේමුල්ල , ගම්පහ ජාඇල ප්‍රධාන මාර්ග ඇතුලු අතුරු මාර්ග රැසක් ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. කිරිදිවිට , අකරවිට , පහළගම, ඔරුතොට ප්‍රදේශයේ නිවාස රැසක් ජලයෙන් යටවීම හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව සිටිනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ පීඩාවට පත්ව සිටින ජනතාවට වියළි ආහාර ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දීම ගම්පහ නගර සභාවේ මැදිහත්වීමෙන් සිදුකෙරෙනවා.

හෝමාගම මැතිවරණ කොට්ඨාසයේ ජලතර , හේන්පිට , ඇඹුල්ගම ඇතුලු ප්‍රදේශ කිහිපයක ජනතාව ජල ගැලීම්වලින් පීඩාවට පත්ව සිටිනවා. එම ජනතාවගේ ගැටලු පිළිබද සොයා බැලීමට අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා. ප්‍රදේශයේ ජනතාව සමග ද අමාත්‍යවරයා ගැටලු පිළිබඳ සාකච්ඡා කළා.

කලුතර දිස්ත්‍රික්කයේ ද පහත් බිම් රැසක් ජලයෙන් යටව පවතිනවා. කලුගග පිටාර ගැලීමෙන් මාර්ග රැසක් ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණහිට තිබෙනවා. හොරණ මතුගම මාර්ගය , අගුරුවාතොට ප්‍රදේශයෙන් ජලයෙන් යටව පවතින අතර බුලත්සිංහල , උඩුවර ,බැල්ලපිටිය , මදුරාවල යන ප්‍රදේශ ද ජල ගැලීම්වලට ලක්වුණා.

රත්නපුර ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඹුරු හෙක්ටාර 200 ක් පමණ විනාශයට පත්ව තිබෙනවා. තවත් බෝග රැසකට ද හානි සිදුව ඇති බවයි ජනතාව පවසන්නේ.

මේ අතර වරකාපොළ නෙලුම්දෙණිය ඉහළගම මාර්ගයේ පහළගම ප්‍රදේශයේ මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණහිට තිබෙනවා. තවදුරටත් එම ස්ථානයේ නායයාම සක්‍රීයව පවතින බැවින් නැරඹීමට පැමිණීමෙන් වළකින ලෙස වරකාපොළ ප්‍රාදේශීය ලේකම් රංජන සජීව අත්තනායක මහතා පවසනවා. ප්‍රදේශයේ විදුලි බල පද්ධතියට හා දුරකථන පද්ධතියට ද දැඩි හානි සිදුව තිබෙනවා.

ප්‍රදේශ කිහිපයක ජල ගැලීම් බැස යාම ආරම්භ වුව ද ගංගා ජල මට්ටම තවදුරටත් ඉහළ මට්ටමක පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

අධික වර්ෂාව හේතුවෙන් ගිලා බැසීමට ලක් වූ කොත්මලේ ජලාශය අසල නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර තිබෙනවා. කොත්මලේ ජල පෝෂක ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාව සමඟ ජලාශ වේල්ල හරහා හරංගල නාවලපිටිය ප්‍රධාන මාර්ගයේයි මෙම ගිලා බැසීම සිදුවුණේ. මාර්ගයේ අඩි 6 ක පමණ කොටසක් ගිලා බැසීමට ලක්ව තිබූ අතර මහවැලි සංවර්ධන අධිකාරිය එහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරනවා.

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 7, 2021 14:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්