fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වරාය නගර පෙත්සම් සලකා බැලීම අවසන් – රහස්‍ය නිගමනය ඉදිරියේදී කතානායකට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 23, 2021 17:21

වරාය නගර පෙත්සම් සලකා බැලීම අවසන් – රහස්‍ය නිගමනය ඉදිරියේදී කතානායකට

කොළඹ වරාය නගර පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අද අවසන් කෙරුණා.

ඒ අනුව මෙම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබද රහස්‍ය නිගමනය ශ්‍රේෂ්ඨාධිකරණය කතානායකවරයා වෙත යොමු කිරීමට නියමිතයි.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ෆර්සානා ජමිල් මහත්මිය මෙම පනත් කෙටුම්පතේ සිදුකිරීමට යෝජිත සංශෝධන අඩංගු ලේඛනයක් අධිකරණයට ඉදිරිපත් කළා. අනතුරුව කරුණු දැක්වූ ඇය මෙම පනත් කෙටුම්පත හරහා පිහිටුවන කොමිසම ක්‍රියාත්මක වන ආකාරය පිළිබද දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කළා. වරාය නගර කලාපය තුළ පිහිටුවන බැංකු මෙරට බැංකු අණපනත් මගින් අධීක්ෂණය කෙරෙනවා.

එමෙන්ම අදාළ කලාපය තුළ පිහිටුවන බැංකු සදහා බලපත්‍ර නිකුත් කිරීමේ බලය ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙත පැවරී තිබෙනවා. යෝජිත කොමිසම අනුගමනය කරන ප්‍රධාන වැඩ සැළැස්ම ක්‍රියාත්මක කිරීමට පෙර ජනාධිපතිවරයාගේ අනුමැතිය ලබා ගැනීමට එම කොමිසමට සිදුවන බවද ඇය පෙන්වා දුන්නා. වරාය නගර කලාපය තුළ පිහිටුවන ව්‍යාපාර සහ ආයෝජන සදහා බලපත්‍ර නිකුත් කිරීමේ බලය මෙන්ම එම කටයුතු අධීක්ෂණය කිරීමේ බලයද යෝජිත කොමිසම වෙත පැවරෙන බවයි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය කියාසිටියේ.

ඒ අනුව මෙම කොමිසම හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කිසිදු ආකාරයකින් උල්ලංඝනය වන්නේ නැති බවයි ඇය ප්‍රකාශ කළේ. මෙහි ආයෝජනය සදහා පැමිණෙන අයට වීසා බලපත්‍ර නිකුත් කිරීමේ බලතල ද ආගමන විගමන දෙපාර්තමේන්තුව සතුවනවා. වරාය නගර කලාපය තුළ සිටින ව්‍යාපාරිකයෙකු ඉන් පිටත රටේ වෙනත් ප්‍රදේශයක ආයෝජනය කරන්නේ නම් ඔහුට සුවිශේෂ වරප්‍රසාද හිමිවන්නේ නැහැ. එමෙන්ම අදාළ ආයෝජකයා මෙරට පොදු නීතියට යටත්ව ව්‍යාපාර සිදු කළ යුතුයි. ඒ අනුව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව් සාමාන්‍ය බහුතර ඡන්දයෙන් සම්මත කළ හැකි බවයි අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ප්‍රකාශ කළේ. පෙත්සම් විභාගය අතරතුර අගවිනිසුරුවරයා පෙන්වා දුන්නේ ආයෝජකයන් වෙත සහන ප්‍රදානය කිරීමේ බලයක් කොමිසමට ලබා දී නැති බවයි.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 23, 2021 17:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්