විස අඩංගුව ඇති පොල්තෙල් තොග වල සාම්පල කාර්මික තාක්ෂණ ආයතනයේ තත්ත්ව පරීක්ෂණයට යොමුකළ අතර එහි වාර්තාව පාරිභෝගික අධිකාරියට ලැබී තියෙනවා.
මේ අතර පොල්තෙල් පිටරටින් ගෙන්වීමට යහපාලන ආණ්ඩුව සමයේ ගෙන ආ ගැසට්ටුව අහෝසි කර පොල්තෙල් ගැටලුව විසදන්න ආණ්ඩුව මේ වෙනවිටත් පියවර ගෙන තිබෙන බව වෙළෙද අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.
මෙරටට ආනයනය කළ පිරිපහදු නොකළ පොල්තෙල් තොගයක ඇෆ්ලටොක්සින් නමැති ප්‍රබල පිළිකාකාරකය අඩංගු බව පසුගියදා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය තහවුරු කළා. ඒ අනුව අලි බ්‍රදර්ස්, එදිරිසිංහ එඩිබල් ඔයිල් හා කටාන රිෆයිනරීස් යන සමාගම්වලට අයත් පොල්තෙල් ප්‍රති අපනයනය කරන ලෙස පසුගිය 4 වනදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය නිර්දේශ කරනු ලැබුවා.
එම පොල්තෙල් තොග නිදහස් කිරීම වැළැක්වූ රේගුව අදාළ සමාගමට අයත් ගබඩා තුනකට මුද්‍රා තැබීමට ද පියවර ගත්තා. මේ අතර දංකොටුවේදී අත්අඩංගුවට ගත් සැකකටයුතු පොල්තෙල් බවුසර් 2 ක් අධිකරණ නියෝග කඩකරමින් රේගුවට භාර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකරන ලෙස මාරවිල අධිකරණය පොලිස්පතිවරයාට නියෝග කළා. දංකොටුව ප්‍ර දේශයේ පොල්තෙල් නිෂ්පාදනාගාරයක තිබී සොයාගත් මෙම බවුසර් දෙකෙහි පොල්තෙල් ලීටර පනස් පන් දහසක් එහි ගබඩා කර තිබුණා. ඒවා ඉන්දුනීසියාවෙන් ආනයනය කර ඇති බව පැවසෙනවා.
එම තෙල්වල ද විෂ සහිත රසායනික ද්‍රව්‍ය අඩංගු බවටයි සැකකෙරෙන්නේ. ඒ සම්බන්ධයෙන් පොලීසිය මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු අදාළ බවුසර් දෙක අධිකරණය භාරයේ තබා රස පරීක්ෂක වාර්තාවක් කැදවන ලෙස මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. කෙසේවුවද එම නියෝගයට පරිබාහිරව යමින් අදාළ පොල්තෙල් බවුසර් දෙක පොලිස් ආරක්ෂාව මධ්‍යයේ රේගු දෙපාර්තමේන්තුවට භාර දීමට කටයුතු කෙරුණා. මේ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදු කර ලබන 21 වනදාට එහි වාර්තාව ලබාදෙන ලෙසයි මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය පොලිස්පතිවරයාට නියෝග කළේ.
පොල්තෙල්වලට ෆාම් තෙල් කලවම් කිරීම පිළිබද ගැසට් නිවේදනයක් එවකට අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් 2016 වසරේ නිකුත්කර තිබෙන බවත් එම ගැසට් නිවේදනයට අනුව පසුගිය කාලයේ වැඩි වශයෙන් ෆාම් තෙල් හා පොල්තෙල් මිශ්‍ර කිරීම සිදුකෙරුනු බවත් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. වත්මන් රජය බලයට පත්වීමත් සමග ෆාම් තෙල්වල බදු වැඩිකරමින් ෆාම් තෙල් මෙරටට ගෙන්වීම සීමාකරමින් ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සදහා රජය සියලු ක්‍රියාමාර්ග ගන්මින් සිටිනා බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.