ජාත්‍යන්තර කාන්තා දිනය අදයි. ඒ වෙනුවෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සදහන් කරන්නේ යම් රටක් කාන්තාවන්ට සළකන ආකාරය එරට සැබෑ සංවර්ධනය පෙන්නුම් කරන සමාජ සංවර්ධන දර්ශකයක් බවයි.
1908 වසරේදී වැඩ කරන පැය ගණන සීමා කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවරදී පැවති පාගමනින් පසු පළමු වරට කාන්තා දිනයක් ප්‍රකාශයට පත් කෙරුණා. අනතුරුව 1975 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය නිල වශයෙන් ජාත්‍යන්තර කාන්තා දිනය පිළිගැනීමට ලක් කළා.
කාන්තා දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සදහන් කරන්නේ ස්ත්‍රිය, දියණියක, සහෝදරියක, බිරිදක, මවක සහ ගෘහණියක ලෙස ඉටු කළ භූමිකාව අතීතයේ සිට ගෞරව බුහුමනින් ඇගයීමට ලක් වූ බවයි. කාන්තාවන්ට සැළකීම අතින් ශ්‍රී ලංකාව සෙසු බොහෝ රටවලට ආදර්ශයක් සපයා ඇති බවද ජනාධිපතිතුමා පවසනවා.
කාන්තාවක් සිය ජීවිත කාලය තුළ නන් විධ භූමිකා ඉටු කරමින් සමාජය එකට බැද තබන ශක්තිමත් හුයක් ලෙස කටයුතු කරන බවද ජනාධිපතිතුමාගේ පණිවුඩයේ සදහන්. හැමවිටම මුදලින් ගණනය නොකළද ජාතික නිෂ්පාදනය සදහා ඇයගෙන් ලැබෙන දායකත්වය නිසැකම ඉහළ අගයක් ගන්නා බවයි ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ. වත්මන් ශ්‍රී ලංකාවේ ආර්ථික සමාජීය හා සංස්කෘතික ජීවිතයේ ක්ෂේත්‍ර ගණනාවක වැඩි නියෝජනයක් හිමිකර ගැනීමට ස්ත්‍රීන් සමත්ව සිටිනවා.
දේශපාලන ක්ෂේත්රය තුළ කාන්තාවකගේ සහභාගීත්වය තවත් වර්ධනය කළ යුතු බවද ජනාධිපතිතුමා පෙන්වා දෙනවා. කාන්තාවගේ කාර්යභාරය නිවැරදිව හදුනා ගත් සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය කාන්තා පරපුරේ සමාජ ආර්ථික දායකත්වය ප්‍රවර්ධනය කිරීම සදහා ප්‍රතිඥා දී ඇති බවද ජනාධිපතිතුමාගේ පණිවුඩයේ සදහන්.
මේ අතර ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සදහන් කළේ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් එක් දිනයක් සැමරීමට ලක් වුවද සෑම මොහොතක්ම කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන් වෙන් විය යුතු බවයි. කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩත්වය මෙන්ම වෙනස් කොට සැළකීම වත්මන් රජය තරයේ හෙළා දකින බවයි අග්‍රාමාත්‍යවරයාගේ නිවේදනයේ දැක්වෙන්නේ. විහාරමහාදේවියගේ සිට ලොව ප්‍රථම අගමැතිනිය වන සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය දක්වා ශ්‍රී ලාංකීය කාන්තාවගේ වීරත්වය හා නායකත්වය ලොවටම පෙන්නුම් කළ බවද එම පණිවුඩයේ සදහන්.
රටකි දැයකි ලොවකි ඇය යන තේමාව යටතේයි මෙවර කාන්තා දිනය සැමරෙන්නේ. ව්‍යවසායක කාන්තාවන්ට නිවාස හා ව්‍යාපාරික ස්ථාන ඉදිකරදීම සදහා මුල්ගල තැබීම් දිවයින පුරා සෑම ග්‍රාමනිලධාරී කොට්ඨාසයකම අද සිදු කෙරෙනවා. අම්මලාගේ භූමිකාව ගීයෙන් ගයමු වැඩසටහන කොළඹ නිදහස් චතුරස්රයේදී අද පස්වරු තුනට පැවැත්වීමට නියමිතයි.
ගැහැණු දරුවන්ගේ සනීපාරක්ෂක පහසුකම් සැපයීම වෙනුවෙන් දියණිය වැඩසටහන බත්තරමුල්ල සුහුරුපායේදී හෙට පෙරවරු නවයට පැවැත්වීමට නියමිතයි. ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව වාර්ෂිකව පිරිනමන ජාත්‍යන්තර දිරිය කාන්තාවන් දාහතර දෙනාගේ ලැයිස්තුවට ශ්‍රී ලාංකික නීතිඥවරියක හා සිවිල් සමාජ ක්‍රියාකාරිනියක වන රනීතා ඥානරාජා මහත්මියද ඇතුළත්ව තිබෙනවා.
ඊට අදාළ සම්මාන ප්රදානෝත්සවය අද එරට වේලාවෙන් පෙරවරු දහයට වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකාවට අමතරව කැමරුන්, චීනය, කොලොම්බියාව, ඉරානය, නේපාලනය,සෝමාලියාව ඇතුළු රටවල් ගණනාවක් නියෝජනය කරමින් දිරිය කතුන් ඇගයීම මෙහිදී සිදුවනවා.