ශ්‍රී ලංකා පාකිස්ථාන් මිතුදම් තවත් තර කරමින් අගමැති ඉම්රාන් දිවයිනට පැමිණෙයි
Related Articles
පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අද (23) පස්වරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලෙන් දිවයිනට පැමිණියා.
ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනයකට අනුව දෙදින නිල සංචාරයක් සදහායි. පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා ප්රමුඛ දූත පිරිස පැමිණියේ පාකිස්ථාන ගුවන් හමුදාවට අයත් විශේෂ යානයකිනුයි.
පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා රැගත් යානයට ඉන්දීය ගුවන් සීමාව භාවිත කිරීමට ඉන්දීය රජය අවසර ලබා දී තිබුණා. ඉම්රාන් ඛාන් මහතා ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස මෙරටට පැමිණ තිබුණද අග්‍රාමාත්‍යවරයා ලෙස ශ්‍රී ලංකාවට පැමිණි පළමු අවස්ථාව මෙයයි. කටුනායක ගුවන් තොටුපොලේදී කුඩා දරුවන් දෙදෙනෙකු පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා පිළි ගැනීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා උණුසුම් ලෙස පිළිගත්තා.
සංස්කෘතිකාංග වලින් සමන්විත උඩරට බෙර නර්තනයකින් ද හරසර දැක්වීමෙන් අනතුරුව පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා වෙත ගුවන් තොටුපොලේදී හමුදා උත්තමාචාරයක් ද පැවැත්වුණා. සම්මාන මුරය සදහා අග්‍රාමාත්‍යවරුන් දෙපල විශේෂ පීඨිකාව වෙත කැදවාගෙන එනු ලැබුවේ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතායි. කාලතුවක්කු 19 ක් සහ වෙඩිමුර සම්මාන මුරයට එක් කර තිබුණා. විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුලු ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් ඉම්රාන් ඛාන් මහතා වෙත හදුන්වා දීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදුකරනු ලැබුවා.
අනතුරුව පාකිස්ථාන නියෝජිත පිරිසද හදුන්වා දෙනු ලැබුවා. පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා ද්විපාර්ශ්වික සාකච්ඡා සදහා කටුනායක ගුවන්තොටුපොලෙන් අරලියගහ මන්දිරය වෙත පැමිණියා.
අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරුන් දෙදෙනා ඒකාබද්ධ මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කිරීමටද නියමිතයි.
පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවන්නේ හෙට පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. කොළඹ දී වෙළෙද හා ආයෝජන සමුළුවකට ද එක්වන ඉම්රාන් ඛාන් මහතා කතානායකවරයා සහ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පිළිගන්වනු ලබන දිවා භෝජන සංග්‍රහයකට ද හෙට දිනයේදී එක්වීමට නියමිතයි.
පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා නාවල කිරිමණ්ඩල මාවතේ ඉහළ ප්‍රමිතියෙන් යුත් ක්‍රීඩා මධ්‍යස්තානයක් විවෘත කිරීම පිළිබදව සාකච්ඡාවකට එක්වන්නේ ඉන් අනතුරුවයි.
පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සිය ශ්‍රී ලංකා සංචාරය අවසන් කර හෙට පස්වරු 3.00ට දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා.