fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලංකා ආණ්ඩුවේ මානව හිමිකම් හොයන අය LTTEය අමු අමුවේ වැනසූ මානව හිමිකම් ගැන සොයන්නැත්තේ ඇයි – නේස්බී සාමිගෙන් ප්‍රශ්නයක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 22, 2021 19:26

ලංකා ආණ්ඩුවේ මානව හිමිකම් හොයන අය LTTEය අමු අමුවේ වැනසූ මානව හිමිකම් ගැන සොයන්නැත්තේ ඇයි – නේස්බී සාමිගෙන් ප්‍රශ්නයක්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැචලේ ඉදිරිපත් කර ඇති වාර්තාව මහා බ්‍රිතාන්‍යයේ කන්සවේටිව් පක්ෂයේ නේස් බී සාමිවරයා හෙළා දැක තිබෙනවා.

නේස් බී සාමිවරයා සදහන් කර ඇත්තේ බැචලේගේ වාර්තාවෙන් කොටි ත්‍රස්තවාදීන්ට වීරත්වයක් සැපයීම සිදුව තිබෙන බවයි. මධ්‍යස්ථ මතධාරී දෙමළ දේශපාලන නායකයන් ඝාතනය කිරීමෙන් ඇරඹූ කොටි ත්‍රස්තවාදයේ ඝාතන සංස්කෘතිය තුලදී ජනාධිපති රණසිංහ ප්‍රේමදාස, ඉන්දීය අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ආදී රාජ්‍ය නායකයන්ද ඝාතනයට ලක් වූ ආකාරය නේස් බී සාමිවරයා පෙන්වා දෙනවා.

අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් පමණක් නොව සිවිල් ජනතාව විශාල වශයෙන් ඝාතනය කළ සංවිධානයක් වශයෙන් එල් ටී ටී ඊ ය හදුන්වන බවයි ඔහු සදහන් කර ඇත්තේ. ප්‍රජාතන්ත්‍රවාදී වශයෙන් බලයට පත්ව ඇති ශ්‍රී ලංකා රජයට එරෙහිව අන්තවාදී භීෂණය පතුරවමින් යුද්ධයක් ක්‍රියාත්මක කිරීම සදහා එල්ටීටීඊ ය ගත් ක්‍රියාමාර්ගය කිසිසේත් සාධාරණීයකරණය කිරීමට නොහැකි බවද ඔහු සදහන් කළා.

ශ්‍රී ලංකාවේ සංහිදියාව ඇති කිරීම සදහා බැචලේගේ වාර්තාවෙන් ලැබිය හැකි සහාය ඉතා අවම බවයි නේස් බී සාමිවරයා පෙන්වා දෙන්නේ. නිල වශයෙන් තහවුරු කළ සිවිල් ජීවිත හානි සංඛ්‍යාව පන්දහසත්, හත්දහසත් අතර තිබෙන බව මෙම වාර්තාවෙන් අමතක කර දමා තිබීම විශාල වරදක් බවද ඔහු පෙන්වා දෙනවා. ගැහැණු දරුවන් සහ පිරිමි දරුවන් එල්ටීටීඊ සොල්දාදුවන් ලෙස බදවා ගැනීම යුද ඉතිහාසයේ සිදුවිය හැකි ඉතා කෘෘරතම අපරාධයක් වනවා.

යුනිසෙෆ් සංවිධානය ගණන් බලා ඇති ආකාරයට එල්ටීටීඊ යේ මියගිය සාමාජිකයන්ගෙන් සියයට හැටකට ආසන්න සංඛ්‍යාවක් දරුවන් බව හෙළිව ඇතැයි ද නේස් බී සාමිවරයා කියා සිටියා. කුඩා දරුවන් යුද්ධයට බදවා ගැනීම, පුහුණු කිරීම සහ යුද්ධයට පිටත් කර හැරීම සදහා බ්‍රිතාන්‍ය පුරවැසියෙකු ලෙස කටයුතු කරන ඇඩිලේ බාලසිංහම් ඇතුළු කොටි නායකයන් කටයුතු කර ඇති ආකාරයද ඔහු සිහිපත් කළා.

ඇඩිලේ බාලසිංහම්ගේ යුද අපරාධ සම්බන්ධයෙන් කිසිවක් සදහන් කිරීමට බැචලේගේ වාර්තාව අසමත් වී ඇති බවයි නේස් බී සාමිවරයා කියා සිටින්නේ. මහා බ්‍රිතාන්‍යය රජයක් වශයෙන් මේ පිළිබදව සොයා බැලීමට එක්සත් ජාතීන්ගෙන් ඉල්ලීමක් කර නැති අතර අඩු තරමේ තමන්ගේ ස්වාධීන පරීක්ෂණයක් හෝ සිදුකර නැති බවටද නේස් බී සාමිවරයා චෝදනා කරනවා.

මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් සොයා බැලීම බ්‍රිතාන්‍යයේ මූලික අරමුණක් නම් ඇඩිලේ බාලසිංහම් ගැන සොයා බැලීමද බ්‍රිතාන්‍ය රජය සිදුකළ යුතු වනවා. ශ්‍රී ලංකාව තුළ පශ්චාත් යුද සමයේ ක්‍රියාත්මක වී ඇති සංවර්ධන ක්‍රියා පිළිබදව අවධානය යොමු කළ යුතු බව අවධාරණය කරන නේස් බී සාමිවරයා බිම්බෝම්බ ඉවත් කිරීම, යුද්ධයෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශවල යටිතල පහසුකම් නිර්මාණය කිරීම ඇතුළු කරුණු ජාත්‍යන්තරයේ අවධානයට යොමු වී ඇති බවද පෙන්වා දෙනවා.

වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ශක්තිමත් නායකයෙකු ලෙස නිසි සැලැස්මක් ඇතුව සියලු ශ්‍රී ලාංකිකයන්ගේ හැකියාවන් සහ දක්ෂතා වර්ධනය කිරීමට යොමු වී සිටින බවයි ඔහු පැවසුවේ. සත්‍ය හා ප්‍රතිසන්ධාන වැඩපිළිවෙළ ශ්‍රී ලංකාව තුළ ශක්තිමත් කිරීමට විවේචන තුළින් නොහැකි බවද ඔහු අවධාරණය කළා.

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා නිලධාරීන්ගේ සේවය විවිධ අංශ කරා යොදා ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය එල්ල කරන විවේචනයට ප්‍රතිචාර දක්වන නේස් බී සාමිවරයා දෙවන ලෝක යුද්ධයෙන් පසු මහාබ්‍රිතාන්‍ය හමුදා නිලධාරීන්ගේ සහාය ලබා ගත් ආකාරයද සිහිපත් කළා.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 22, 2021 19:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්