fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මුහුදේ වෙනසක් – මීටර් දෙකක් උසට රැළි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 16, 2021 17:46

මුහුදේ වෙනසක් – මීටර් දෙකක් උසට රැළි

හලාවත සිට වෙන්නප්පුව දක්වා වූ මුහුදු තීරයේ මුහුදු රළ ගොඩබිම දෙසට ගලා ඒම ඊයේ (15) පස්වරුවේ සිට සිදුවෙමින් තිබූ බව අප වාර්තාකරුවන් පවසනවා.

මුහුදු රළ ගොඩබිම දෙසට ගලා ඒම හේතුවෙන් වෙරළ තීරයේ නිවාස රැසකට ද බලපෑම් එල්ල වුණා.

හලාවත සිට වෙන්නප්පුව දක්වා වෙරළ තීරයේ ගාල් කර තිබූ ධීවර යාත්‍රා මුහුදට ගසා ගෙන යාම වැලැක්වීම සදහා ආරක්ෂිත ස්ථානවලට රැගෙන යාමට ධීවර ජනතාව කටයුතු කරන ආකාරය දැක ගැනීමට ලැබුණා. මුහුදු රළ දැඩි වීමෙන් වැඩිම බලපෑමක් එල්ල වූයේ තොඩුවාව තල්විල සහ මූදු කටුව යන ප්‍රදේශවලටයි. එම ප්‍රදේශවල මුහුද දැඩි රළු ස්වභාවයක් ගන්නා බවද වාර්තා වනවා.

මන්නාරම සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළ තීරයට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් දෙකත්,  දෙකයි දශම පහත් දක්වා ඉහළ යා හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. මෙම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි වන බැවින් ධීවර හා නාවුක ප්‍රජාව මෙන්ම වෙරළාසන්නයේ ජීවත් වන ජනතාව දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බව එම දෙපාර්තමේන්තුව සදහන් කළා.

දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමා එන බව ද කාලගුණ අංශ පවසනවා. කොළඹ සිට පුත්තලම හරහා මන්නාරම දක්වා මෙන්ම හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 45 දක්වා වැඩිවිය හැකියි.

කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල ස්ථාන කිහිපයක වැසි ඇතිවිය හැකි බවද කාලගුණ දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 16, 2021 17:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්