T10 පෙන්වන්නත් ITN මාධ්‍ය ජාලය සූදානම්
Related Articles
ශ්‍රී ලාංකේය ක්‍රිකට් ලෝලීන්ට එල් පී එල් පෙන්වූ ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලය T10 ආශ්වාදයත් ලබා දෙන්න සියලු කටයුතු අද සූදානම් කළා. අබුඩාබි T10 තරගාවලියේ ශ්‍රී ලංකාව තුළ රූපවාහිනි විකාශන අයිතිය හිමි කර ගැනීම වෙනුවෙන් ගිවිසුම් අත්සන් කිරීමත් අද (15) සිදුවුණේ ස්වාධීන රූපවාහිනි පරිශ්‍රය තුළදීයි. ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයන් සහභාගි වන ටී ටෙන් ක්‍රිකට් තරගාවලියක් ශ්‍රී ලාංකීය රූපවාහිනි නාළිකාවකින් අපේ ප්‍රේක්ෂකයන්ට බලා ගන්න ලැබෙන්නේ ප්‍රථම වතාවටයි.
ජනවාරි 28 වනදා සිට පෙබරවාරි 6 වනදා දක්වා අබුඩාබි හි දි ක්‍රියාත්මක වන මෙම T10 තරගාවලිය තරග 29 කින් සමන්විතයි. තරගාවලිය සදහා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහභාගිත්වයෙන් යුත් කණ්ඩායම් 8 ක් තරග වදිනවා.
තරගාවලියේ මෙරට නිල විකාශන අයිතිය සම්බන්ධ ගිවිසුම් අත්සන් කිරීම අද ස්වාධීන රූපවාහිනි පරිශ්‍රයේදී සිදුවුණා. එම අවස්ථාවට අබුඩාබි ටී ටෙන් තරගාවලියේ ජාත්‍යන්තර නිල විකාශන අයිතිය හිමි යුනිවර්සල්ලින්ක් සිලෝන් පුද්ගලික සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රවී හෙට්ටිගේ, ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයේ සභාපති සුදත් රෝහණ මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියා.
පසුගිය ලංකා ප්රිමියර්ලිග් 2020 ක්‍රිකට් තරගාවලිය විකාශනය කළේ ද ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයයි. සුපැහැදිලි දසුන් ඔබට සමීප කරමින් මෙම ටී ටෙන් තරගාවලිය ද ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයේ වසන්තම් ටී වී නාලිකාව ඔස්සේ විකාශනය කිරීමට සියලු කටයුතු සූදානම්.