කොටදෙණියාවේ අබලි යකඩ උණු කිරීමේ කර්මාන්ත ශාලාවක බොයිලේරුවක් පිපිරීමෙන් ඉන්දීය ජාතිකයෙකු මිය ගියා.
විශේෂඥයන්ගෙන් උපදෙස් ලබා ගනිමින් පරීක්ෂණ සිදු කෙරෙන බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
කොටදෙණියාව කරබොටුව ප්‍රදේශයේ පිහිටා ඇති මෙම ඉන්දීය සමාගමට අයත් කර්මාන්ත ශාලාව තුළ අබලි යකඩ ද්‍රව්‍ය උණු කිරීම සිදු කෙරෙනවා. එහි තිබූ බොයිලේරුව පුපුරා යාමට ලක්වුණේ අද උදෑසන කාලයේයි. එම පිපිරීමෙන් ඉන්දීය ජාතිකයන් 3 දෙනෙකු තුවාල ලැබුවා. ඔවුන් මීරිගම රෝහලට ඇතුළත් කෙරුණු අතර එහිදී එක් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. තුවාල ලැබූ අනෙක් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා වතුපිටිවල රෝහලට ඇතුළත් කළ අතර දැඩි පිළිස්සුම් තුවාල සහිත වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට මාරු කෙරුණා. බොයිලේරුව පුපුරා යාමෙන් මිය ගියේ 46 හැවිරිදි ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පදිංචි ජාවිඩ් නමැති පුද්ගලයෙකුයි. හතළිස් දෙහැවිරිදි රාම්රාජ් චන්ද්‍රන් හා 26 හැවිරිදි ප්‍රසාද් රම්ප්රරේෂ් යන දෙදෙනායි සිද්ධියෙන් බරපතල පිළිස්සුම් තුවාල ලබා තිබෙන්නේ.
කර්මාන්ත ශාලාව මේ වන විට තාවකාලිකව වසා දමා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. එම පරීක්ෂණ සඳහා මෙම ක්ෂේත්රය සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් ඇති පිරිසගෙන් උපදෙස් ලබා ගැනීම සිදු කෙරෙන බවයි ඒ මහතා කියාසිටියේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/m8PwfA3P1yk”]