කන්තලේ ප්‍රදේශයේ දී ගුවන් හමුදා පුහුණු යානයක් අනතුරට ලක්වූ ස්ථානය රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක්කෙරුණා. අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ ගුවන් නියමුවාගේ දේහය ඔහුගේ නිවස වෙත රැගෙන ඒමට කටයුතු යොදා තිබෙනවා.
ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ නියමුවන් පුහුණු කිරීම සදහා යොදාගන්නා පී ටී හය වර්ගයේ ගුවන් යානයක් අනතුරට ලක්වුණේ ඊයේ පස්වරු එකයි දහයට පමණයි.
පසුව හෙළිවූයේ යානය චීන වරාය විද්‍යාපීඨයේ සිට සැතපුම් 14 ක් දුරින් කන්තලේ සූරියපුර ජනරංජන වැව ආසන්නයේදී අනතුරට ලක්ව ඇති බවයි. යානය පැදවූ පුහුණු ගුවන් නියමු කේ ආර් එස් වී බී අමරකෝන් මහතා ජීවිතක්ෂයට පත්වුණා.
ඔහු පුහුණු ගුවන් නියමුවෙකු ලෙස ගුවන් හමුදාවට එක්ව ඇත්තේ 2019 ජනවාරි මාසයේදීයි. 2019 ජුලි මාසයේ සිට ඔහු පියාසර පුහුණුව ආරම්භකර තිබෙනවා. සිද්ධිය පිළිබද විමර්ශනයට ගුවන් හමුදාපතිවරයා විශේෂ කමිටුවක් පත්කළා. මියගිය ගුවන් නියමුවාගේ දේහය රුවන්වැල්ල, ගෝනගල, මාපිටිගම, අලුත්නලව්ව නිවස වෙත රැගෙන ඒම සදහා කටයුතු යොදා තිබෙනවා.