අලි මිනිස් ගැටුමෙන් ශ්‍රී ලංකාව ලෝකයේ දෙවන තැනට
Related Articles
අලි මිනිස් ගැටුමෙන් මිනිස් ජීවිත වැඩි වශයෙන්ම අහිමි වන දෙවන රට ශ්‍රී ලංකාව බව හෙළි වී තිබෙනවා.
අලි මිනිස් ගැටුම අපේ රටේ කාලයක් තිස්සේ පවතින තවමත් විසදා ගැනීමට නොහැකි වූ ගැටලුවක්. මිනිස් ක්‍රියාකාරකම් හමුවේ වන අලි මෙන්ම වන අලි ගම් වැදීමෙන් මිනිසුන් ද ජීවිතවලින් වන්දි ගෙවනවා. එවැනි සිදුවීම් කිහිපයක් පසුගිය දිනවලද අපගේ ප්රවෘත්ති විකාශවලින් වාර්තා කළා. අපේ රට අද වනවිට අලි මිනිස් ගැටුමෙන් වැඩි වශයෙන්ම මරණ සිදුවන රට බවට පත්වෙලා. එය පසුගිය දින පාර්ලිමේන්තුවේ පැවති රජයේ ගිණුම් කාරක සභාවේ දී අනාවරණය වුණා. එමෙන්ම අලි මිනිස් ගැටුම හමුවේ ලෝකයේ වැඩිම මිනිස් ජීවිතවලට හානි සිදුවන රටවල් අතර ශ්‍රී ලංකාව දෙවන ස්ථානයට පත්වීම ඛේදනීය තත්ත්වයක්.
ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම හේතුවෙන් වසරකට මියයන අලි ඇතුන් සංඛ්‍යාව 272 ක් පමණ වනවා. පසුගිය වසර තුළ අලි ඇතුන් 407 දෙනෙකු මිය ගොස් තිබෙනවා. එසේම අලි මිනිස් ගැටුම හේතුවෙන් වසරකට මියයන මිනිසුන් ගණන 85 ක් පමණ වුවද වසර 2019 දී මිනිස් ජීවිත 122 මෙසේ වනඅලි ප්‍රහාරවලින් අහිමි වූ බව අනාවරණය වුණා. අලි මිනිස් ගැටුම පාලනයට සාර්ථකම ක්‍රමවේදයක් ලෙස හදුන්වා දී ඇති අලි වැට නිසි ලෙස නඩත්තු නොවීම සහ පැන නැගී ඇති ගැටලු කිහිපයක් හමුවේ තවමත් ස්ථිර විසදුමක් මේ සදහා ලබාදීමට නොහැකි වී තිබෙනවා.
කෙසේ වුවද විදුලි වැට නඩත්තුවට පමණක් වසරකට රුපියල් මිලියන අසූ හයක මුදලක් වැය කරන බවද හෙළි වී තිබෙනවා. කෙසේ වෙතත් මේ වනවිට දැඩි ගැටලුවක් බවට පත්ව තිබෙන ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම විසදීම සදහා වනජීවි දෙපාර්තමේන්තුව ඇතුලු අදාළ බලධාරීන් කාර්යක්ෂම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි.
බලධාරීන් නිසි විසදුමක් ලබා දීම තවදුරටත් අතපසු කරන්නේනම් මෙම ගැටුම හමුවේ තවදුරටත් සිදුවන ජීවිත හානි වැඩවීම වලක්වාලිය නොහැකියි.