පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ වැඩවිසූ නෙදර්ලන්ත ජාතික හිමිනමගේ සැකකටයුතු අපවත්වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ආරම්භකර තිබෙනවා.
රත්ගම, කටුදම්පේ, පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයට ජිනවංශ ස්වාමීන් වහන්සේ වැඩමකර ඇත්තේ මීට වසර 11 කට පෙරයි. පිණ්ඩපාතයෙන් යැපෙමින් ආරණ්‍ය සේනාසනය තුළ භාවනායෝගීව වැඩවිසූ උන්වහන්සේ අපවත් වනවිට 60 වන වියෙහි පසුවුණා. සේනාසනයට අයත් ඔරුවකින් රත්ගම කලපුව හරහා උන්වහන්සේ පිණ්ඩපාතයට ගොඩබිමට වැඩමකිරීම නිරතුරුව සිදුවුණා. කෙසේ වුවද අතුරුදන් වූ ජිනවංශ ස්වාමීන් වහන්සේගේ දේහය රත්ගම කලපුවේ පාවෙමින් තිබියදී සොයාගැණුනු අතර උන්වහන්සේගේ දෙපා ගැටගසා කොන්ක්‍රීට් කැබැල්ලක් ද එල්ලා තිබුණා. දේහය පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ කරාපිටිය රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ජානකී වරුසහැන්නදි මහත්මිය දැනුම් දුන්නේ වැඩිදුර පරීක්ෂණ සදහා සිරුරේ කොටස් කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත ලබාදෙන ලෙසයි.
අපවත්වී වදාළ ජිනවංශ ස්වාමීන් වහන්සේගේ දේහය පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ තැන්පත්කර තිබෙනවා.
දැනට සිදුකෙරෙන පරීක්ෂණ පිළිබද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙසේ අදහස් දැක්වූවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/1lf7xmSLmS4″]