පුත්තලම, ආනකුත්තුව, මනල්තිව් ධීවර ගම්මානයට ගමන් ගන්නා මාර්ගය දැඩි ලෙස අබලන් වීමෙන් ධීවර ජනතාව පත්ව තිබෙන්නේ දැඩි අසීරුතාවකටයි.
විදේශිකයෙකු වසර 25 කට පමණ පෙර මෙම ප්රදේශයේ ඉස්සන් ගොවිපලක් ආරම්භ කළා. එම ගොවිපලට ගමන් කිරීම සදහා පාලමක් ඉදිකිරීම තුළින් ගම්මානයේ ජනතාවට ද ගමනාගමන පහසුව සැළසුනා. කාලයාගේ ඇවෑමෙන් පාලම මෙන්ම මාර්ගය ද දැඩි ලෙස අබලන් වුණා. ඒ හේතුවෙන් ප්රදේශවාසීන් ද පත්වුණේ බරපතල අපහසුතාවන්ටයි. එක් පසෙකින් කලපුවත් තවත් පසෙකින් ඇළ මාර්ගයක් ද පිහිටි මෙම ගම්මානයේ ඉස්සන් වගාව බහුලව සිදුවනවා. මේ දිනවල පවත්නා අධික වර්ෂාව හේතුවෙන් මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයට ඇතිවී තිබෙන බාධා තවත් ඉහළ ගියා.
ධීවරයින්ගේ අස්වනු අලෙවි කිරීමට පමණක් නොව දරුවන්ට පාසල්වලට යාමද මේ වනවිට බරපතල ගැටලුවක් වී පවතිනවා. මේ පිළිබද සැළකිලිමත්වී මාර්ගය කඩිනමින් ප්රතිසංස්කරණය කර දෙන ලෙසයි ප්රදේශවාසීන් ඉල්ලා සිටින්නේ.