fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාස්කු ප්‍රහාරය විදෙස් ත්‍රස්ත කණ්ඩායමක අධීක්ෂණය යටතේ සිදුවූවක් බව හිටපු නාවික හමුදාපති පාස්කු කොමිසමට කියයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 6, 2020 17:27

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය විදෙස් ත්‍රස්ත කණ්ඩායමක පූර්ණ අධීක්ෂණය යටතේ සිදුවූවක් බවට තමන් විශ්වාස කරන බව හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී විශ්‍රාමික නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා පවසනවා. පාස්කු ප්‍රහාරය පිළිබද සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ සාක්ෂි ලබා දෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ බුද්ධි තොරතුරු නිසි පාර්ශ්වයන් අතට පත් නොවීම හේතුවෙන් මෙම ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වූ බවයි.

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දීම සදහා හිටපු ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී විශ‍්‍රාමික නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා පෙනී සිටියේ පළමු දිනටයි. එහිදී කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් ඔහු කියා සිටියේ 2004 වසරේ සිට සහරාන් හෂීම් පිළිබඳ සොයා බැලීමට යුද හමුදා බුද්ධි අංශ යොදවා තිබූ බවයි.
හිටපු ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී විශ‍්‍රාමික නාවික හමුදාපති අද්මිරාන් රවීන්ද්‍ර විජේගුණරත්න
‘‘ සහරාන් සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කර තිබූ බුද්ධි අංශ නිලධාරීයා පසුකාලීනව අවුරුදු පහක් රිමාන්ඞ් බන්ධනාගාර ගතකර තිබුණා. බුද්ධි අංශ දුර්වල කලා. ඔවුන්ගේ කොදු නාරටිය කඩලා තිබුණා. බුද්ධි අංශ ආරක්ෂා කරන්න ගිහින්
තමයි මම අදටත් රිමාන්ඞ් ඇප දුන්න චූදිතයෙක් වෙලා ඉන්නේ. කෙසේ වෙතත් මාවනැල්ල බුදුපිළිම කැඞීම, වව්නතිව් පොලිස් නිලධාරීන් ඝාතනය, වනාතවිල්ලූව පුපුරණද්‍රව්‍ය සොයා ගැනීම යන සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂණ කළ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව නිවැරදි මාර්ගයේ ගමන් නොකිරීම හේතුවෙන් විමර්ශන නොමග යාමක් සිදුවුණා. එ් නිසා මෙවැනි ප‍්‍රහාරයක් සිදුවීම වළක්වා ගැනීමට නොහැකි වුණා.

‘‘ස්වාමීනී ප‍්‍රහාරයක් එල්ලවෙනවා කියලා රාජ්‍ය බුද්ධි සේවයේ එවකට අධ්‍යක්ෂවරයාව සිටි නිලන්ත ජයවර්ධන මහතාට අපේ‍්‍රල් 4 වනදා ලැබුණු තොරතුරු ති‍්‍රවිධ හමුදා ප‍්‍රධානීන්ට දැනුම් දුන්නේ නැහැ. බුද්ධි තොරතුරක් ලැබුනම ක්‍රෙඩිට් එක යන්නේ කාටද කියලා බලාගෙන වැඩ කරන්නේ නැහැ. ඒ තොරතුරු ලැබී තිබුණේ ඉන්දියාවෙන්. අපිට එ් තොරතුරු දැනුම් දුන්නා නම් අපේ‍්‍රල් අට ඉන්දීය ආරක්ෂක ලේකම්වරයා ලංකාවට පැමිණි අවස්ථාවේ අපි එ් ගැන යම් වැඩිදුර තොරතුරක් දැනගන්නවා. එ් නිසා විදෙස් බුද්ධි අංශයකින් ලැබුණු එ් තොරතුර වගකිව යුතු නිසි බලධරයන්ට දැනුම් නොදීම නිලන්ත ජයවර්ධන අතින් සිදුවුණු බරපතල අඩුපාඩුවක්. බුද්ධි තොරතුරු ලැබිය යුතු නිසි පාර්ශ්වවලට නොලැබීම නිසයි මෙහෙම තත්ත්වයක් ඇතිවුණේ.

අපේ‍්‍රල් 20 වන දිනට හෝ ඊට පෙර ප‍්‍රහාරයක් එල්ලවන බවට බුද්ධි තොරතුරක් ගැන ඔබ දැනුවත් වූයේද?
‘‘නැහැ මම එදා කොළඹින් පිට හිටියේ. යුද, නාවික, ගුවන් කිසිම හමුදා ප‍්‍රධානියෙක් එ් තොරතුර ගැන දැන සිටියේ නැහැ. නමුත් ඒක අපිට දැනුම් දෙන්න ඕනෑ තරම් සන්නිවේදන ක‍්‍රම තිබුණා. රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා ඔහුට ඉහළින් ඉන්න අයට කිව්වා. නමුත් දැනගත යුතු පහළ නිලධාරීන් දැනුවත් කළේ නැහැ.
ස්වාමීනී කාත්තන්කුඩියේ යතුරු පැදිය පුපුරුවා හරිමින් කළ පෙර පුහුණුවයි කොච්චිකඬේ වෑන් රථයක් තුළ සකස් කර තිබුණු බෝම්බයයි දැක්කම පේනවා මේක කොතරම් සැලසුම් සහගතවද කළේ කියලා. එ් වගේම මේකට සම්බන්ධ වුනෙත් විදෙස් රටවල අධ්‍යාපනය ලබපු උගත් පිරිසක්. මේක ලංකාවේ ප්ලෑන් කරපු දෙයක් නෙවෙයි. විදෙස් රටක ත‍්‍රස්තවාදී කණ්ඩායමක පූර්ණ අධීක්ෂණය යටතේ සිදුවුණු ප‍්‍රහාරයක්. අයිඑස් ටාගට් එක මේ ප‍්‍රහාර මාලාව තුළ ඉතා පැහැදිලියි. ඕනෑම ත‍්‍රස්තවාදී කණ්ඩායමක නායකයෙක් මරාගෙන මැරෙන්නේ නැහැ. ඔහු පිටුපස ඉන්නේ. සහරාන් කියන්නේ මෙරට මේ ප‍්‍රහාර මාලාව මෙහෙයවූ අනුගාමිකයෙක් විතරයි. ඔහු නායකයෙක් නෙවෙයි.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 6, 2020 17:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්