මහර බන්ධනාගාරයේ ප්රචණ්ඩ ක්‍රියාවලදී මූලිකත්වය ගෙන කටයුතු කළ රැදවූවන් එකසිය හැත්තෑ පස්දෙනෙකු හදුනාගෙන තිබෙනවා.
මහර බන්ධනාගාරයේ රැදවූවන් දෙදහස් පන්සිය දෙනෙකු පමණ සිටිනවා. එම බන්ධනාගාරයේ පසුගිය දා ඇති වූ කලහකාරී සිද්ධියෙන් 108 දෙනෙකු තුවාල ලැබුවා. ඉන් 106 දෙනෙකු බන්ධනාගාර රැදවූවන්. සිද්ධියෙන් රැදවූවන් 11 දෙනෙකු මියගියා. රැදවූවන් 28 දෙනෙකු හා එක් නිලධාරියෙකු තවදුරටත් ප්‍රතිකාර ලබනවා. මෙම සිද්ධියේදී බන්ධනාගාර නිලධාරීන් තම බලය අවම ලෙස භාවිත කළේ සමාජයට සිදුවීමට ගිය විශාල හානියක් වැලැක්වීම සදහා බවයි ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කරන්නේ.
මෙම කැරැල්ලට නායකත්වය ලබාදුන් පළමු පෙළ හා දෙවන පෙළ රැදවූවන් පිරිස මේ වනවිට හදුනාගෙන ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසනවා.
මහර බන්ධනාගාරය තුළ සිටි රැදවුවන් අතුරින් ඇප ලබාදීමට නියමිතව තිබූ රැදවුවන් හට ඇප සහතික කිරීමෙන් අනතුරුව නිරෝධායනය ක්‍රියාමාර්ගවලට අනුගතව මුදාහැරීමට පියවර ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ.
කලහකාරී සිද්ධියට නායකත්වය දුන් බන්ධනාගාර රැදවූවන්ට එරෙහිව ඉදිරියේ දී නඩු පැවරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව සූදානමින් සිටිනවා. කොරෝනා වසංගතය හමුවේ මෙම බන්ධනාගාරයේ සිටින රැදවූවන් සංඛ්‍යාව අඩු කිරීම සදහා සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස අමාත්‍ය අලි සබ්රි මහතා නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටියා. ඒ අනුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ඇප ලබා ඇති එහෙත් ඇප ගෙවිය නොහැකි සැකකරුවන්ට කඩිනමින් ඇප ලබාදීමේ විධිමත් යාන්ත්‍රණයක් සකස් කරන ලෙසට නීතිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් ලබා දුන්නා. ලබන සතිය වනවිට බන්ධනාගාර තදබදයට විසදුමක් ලැබෙනු ඇති බව අධිකරණ අමාත්‍යංශයේ උපදේශක ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා මහතා පවසනවා.
මහර බන්ධනාගාර සිද්ධිය පිළිබද විමර්ශනය කෙරෙන පංච පුද්ගල කමිටුවට විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ලලින්ද රණවීර මහතා පත්කර තිබෙනවා. ඒ,පංච පුද්ගල කමිටුවෙන් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඉල්ලා අස්වීම හේතුවෙන්. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස තමන් ක්‍රියාකිරීම හේතුවෙන් මෙසේ ඉල්ලා අස්වූ බවයි අජිත් රෝහණ මහතා පවසන්නේ.
මේ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් මහර බන්ධනාගාර පරිශ්‍රය වෙත අද පැමිණියා. එම මන්ත්‍රීවරුන් බන්ධනාගාර අධිකාරීවරයා සමග සාකච්ඡාවක් ද සිදුකළා. සාකච්ඡාව පැවතියේ බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුව ඉදිරිපිටදීයි. මේ අතර බන්ධනාගාරයේ සිටින රැදවූවන්ගේ ඥාතීන් අදත් මෙම බන්ධනාගාරය ඉදිරිපිටට පැමිණ නොසන්සුන්කාරී ලෙස හැසිරුණා. බන්ධනාගාරයේ ආරක්ෂාව සදහා පොලීසිය මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකාය ද යොදවා තිබෙනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/OD1CbK9quUI”]