නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින බුරවි සුළි කුණාටුව ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ඇතුළු වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
බුරවි සුළිකුණාටුවෙන් පැල්පත්වලට හා තාවකාලිකව ඉදිකිරීම්වලට හානි සිදුවිය හැකි බවයි කාලගුණ අංශ සඳහන් කරන්නේ. එසේම වහලවල ඇති තහඩු ,උළු ආදිය ගැලවී යාමේ අවදානමක්ද පවතිනවා. විදුලි සහ දුරකතන රැහැන්වලට ද හානි සිදු විය හැකියි. ගස් හා අතු කඩා වැටීම මෙන්ම වගා හානි සම්බන්ධයෙන් ද ජනතාව අවධානයෙන් සිටිය යුතු බව කාලගුණ අංශ සඳහන් කළා.
වරාය ආශ්‍රිතව නවතා ඇති යාත්‍රා සහ අංගනවලට ද හානි සිදු වීමේ අවදානමක් පවතිනවා. ක්ෂණික ගංවතුර තත්ත්ව මෙන්ම වෙරළ ආරක්ෂිත පහත්බිම් ප්‍රදේශ මුහුදු ජලයෙන් යටවීමේ අවදානමක්ද ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.ත්‍රිකුණාමලයේ සිට කන්කසන්තුරය දක්වා සහ පුනරින් සිට පුත්තලම දක්වා වෙරළබඩ ප්‍රදේශවල මුහුදු රළ , උදම් රළ මට්ටමට වඩා මීටර් 1 ක් පමණ ඉහළ යා හැකි බව ද එම දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
නැගෙනහිර පළාත තුළ ආපදා කළමනාකරණය උපරිම අයුරින් සිදු කිරීමට පළාත් සෞඛ්‍ය සේවා අංශ සූදානමින් සිටිනවා. හදිසි අවස්ථාවලදී 076 161 61 33 / 070 222 222 7 යන දුරකතන අංක අමතන ලෙසයි නැගෙනහිර පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.
උතුරු පළාතේ මේ වනවිට දැඩි සුළං සහිත වර්ෂාපතනයක් ලැබෙමින් පවතින බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. පවතින අයහපත් කාලගුණික තත්ත්වය සමග රථ වාහන ධාවනයේදී විමසිලිමත්විය යුතු බව පොලිසිය රියදුරන්ට දැනුම් දෙනවා.
මුහුදු නොයන ලෙස බලධාරීන් දැනුම් දී තිබියදී යාපනය පොන්නාලෙයි මුහුදු තීරණයෙන් මුහුදු ගිය ධීවරයකු අතුරුදන් වී තිබෙනවා. සෙල්වකුමාර් සෙල්වරාසා නමැති මෙම ධීවරයා ඊයේ රාත්‍රී 08 ට පමණ මුහුදු ගොස් ඇති අතර ඔහු පිළිබඳව සෝදිසි කිරීමේ කටයුතු තවමත් සිදු වනවා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=Nkr_0vrCWCI&feature=youtu.be&fbclid=IwAR17Gpl4mJOuGnsUU9jREOxbMumcSZFWrjnvnkhJ1q_-eBk0t1SWbahNtBE”]