රුපියල් බිලියන එකයි දශම දෙකකට ආසන්න මුදලක් රජයට පාඩු කළ පොහොර විෂමාචාරවලට සම්බන්ධ නිලධාරීන් පස් දෙනෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.
සාවද්‍ය ලේඛන සකස් කර රසායානාගාර පරීක්ෂණ වාර්තා වෙනස් කිරීම ඇතුළු චෝදනා කිහිපයක් පදනම් කර ගනිමිනුයි මෙම තීරණය ගෙන තිබෙන්නේ.
2018 – 2019 වර්ෂවලට අදාළව පොහොර බෙදා හැරීමේ විෂමාචාරවලට සම්බන්ධ එවකට පොහොර ලේකම් කාර්යාලයේ සේවය කළ සහකාර අධ්යක්ෂවරුන් තුන් දෙනෙකු සහ සංවර්ධන නිලධාරීන් දෙදෙනෙකුගේ සේවයයි මෙලෙස අත්හිටුවා තිබෙන්නේ. විගණකාධිපති වාර්තාවලට අනුව ද මෙම වංචාව පිළිබද විමර්ශන සිදු කෙරුණා. මේ පිළිබද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළ යුතු බවට එම වාර්තාව ද නිර්දේශ කර තිබුණා. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ඉල්ලීමකට අනුව අමාත්‍යංශ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා මහතා මේ පිළිබද සොයා බැලීමට විශේෂ කමිටුවක් ද පත් කළා. එම කමිටුව කළ විමර්ශණ වලින් පසුවයි අදාළ නිලධාරීන් පස් දෙනාගේ සේවය අත්හිටුවීමට නිර්දේශ කර තිබෙන්නේ.
තරාතිරම නොබලා මෙම වංචාවට සම්බන්ධ වූ සියලු දෙනාට නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි අමාත්‍යවරයා දැනුම් දී තිබෙන්නේ.