කොරෝනාවලින් මිය යන අයගේ මෘත ශරීර ආදාහනය කිරීම සම්බන්ධව නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් එකොළහක් ශ්‍රේෂ්ඨාධිකරණයේ බහුතර විනිසුරුවරුන්ගේ එකගතාවෙන් ප්‍රතික්ෂේප කෙරුණා.
මෙම පෙත්සම් සලකා බැලීම ඊයේ (30) සහ අද (01) දිනයේ සිදුවුණා. තීන්දුව ප්‍රකාශයට පත් කළේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතායි. නීතිපතිවරයා සහ වගඋත්තරකරුවන් වෙනුවෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා ප්‍රකාශ කළේ කොවිඩ් ආසාදනයෙන් මිය යන අය ආදාහනය කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර ඇත්තේ ඒ හරහා අදාළ වයිරසය තවදුරටත් ව්‍යාප්ත වීම වැලැක්වීමේ අරමුණෙන් බවයි. කොවිඩ් ව්‍යාප්තිය සිදුවන ආකාරය පිළිබද විද්‍යාඥයින් තවමත් අවසන් තීන්දුවකට පැමිණ නැහැ. එවන් පසුබිමක ආසාදිත මෘත ශරීරවලින් එම වයිරසය ආසාදනය නොවන බවට පෙත්සම් කරුවන් ඉදිරිපත් කරන තර්කය පිළිගත නොහැකි බවද ඔහු පෙන්වා දුන්නා. ඔහු තවදුරටත් අවධාරණය කළේ කොරෝනාවලින් මිය යන අය පිළිබද අවසන් කටයුතු සිදු කෙරෙන ආකාරය පිළිබද කරුණු ඇතුළත් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය නීත්‍යානුකූල බවයි. ඒ තුළින් කිසිවෙකුගේත් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදු නොවන බවද ඔහු පෙන්වා දුන්නා.
මේ සම්බන්ධයෙන් තීරණයක් ගත හැක්කේ සෞඛ්‍ය විශේෂඥයන්ට පමණක් බවයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා කියා සිටියේ. අතරමැදි පාර්ශ්වකරුවන් කිහිප දෙනෙකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා ද කියා සිටියේ කොවිඩ් ආසාදිත මළ සිරුරු භූමදානය තුළින් පස් හරහා ද වයිරසය ව්‍යාප්ත විය හැකි බවයි. සියලු කරුණු සලකා බැලූ ත්‍රී පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම් සියල්ල බහුතර විනිසුරු වරුන්ගේ එකගතාව මත ප්‍රතික්ෂේප කරන බවට නිවේදනය කළා.