LPL පළමු තරගයේ ජය කලම්බු කින්ග්ස් කණ්ඩායමට
Related Articles
ලංකා ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තගරයේ ජය හිමිකර ගැනීමට කලම්බු කින්ග්ස් කණ්ඩායම සමත් වුණා. ඒ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට එරෙහිව සුපිරි පන්දුවාරයේ දී ලකුණු 16 ක් වාර්තා කරමින්.
හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී එල් පී එල් තරගාවලිය ඊයේ (26) පස්වරුවේ ආරම්භ කෙරුණේ විචිත්‍රවත් කෙටි සමාරම්භක උත්සවයකින් අනතුරුවයි. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
ආරම්භක තරගයේ කාසියේ වාසිය දිනාගත් කලම්බු කින්ස් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි කැන්ඩි ටස්කස් කණ්ඩායම ලකුණු 219ක් රැස් කළා. එහිදී ඔවුන්ගේ කඩුළු තුනක් පමණයි බිද වැටී තිබුණේ. නායක කුසල් ජනිත් පෙරේරා ලකුණු 87 ක් ද රහමුනුල්ලා ගුර්බාස් ලකුණු 53ක්ද ලබා ගනිමින් කණ්ඩායම ඉහළට ඔසවා තැබීමට තම දායකත්වය ලබා දුන්නා. අවසන් පන්දුවාර කිහිපයේදී වේගවත් ලකුණු 30ක් රැස්කළ අසේල ගුණරත්න ද කණ්ඩායමට අවශ්‍ය මොහොතේ තම උපරිම දායකත්වය ලබාදුන්නා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කලම්බූ කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවා 20 තුළ කඩුළු 6 ක් දැවී ලකුණු 219 ක් රැස් කිරීමත් සමග තරගයේ ලකුණු සමවුණා. එහිදී කලම්බූ කින්ග්ස් කණ්ඩායම වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් ලකුණු 80ක්ද ලෝරී ඉවන්ස් ලකුණු 64 ක් ද රැස්කළ අතර ඉසුරු උදාන වේගවත් ලකුණු 20ක් රැස්කලේ හයේ පහර දෙකක් ද සමගින්.
ඒ අනුව තරගයේ ජය තීරණය කිරීම වෙනුවෙන් සුපිරි පන්දුවාරය ක්‍රියාත්මක කෙරුණා. එහිදී කලම්බූ කින්ග්ස් කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 16 ක් රැස්කර ගත්තා. කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට සුපිරි පන්දුවාරය තුළ රැස්කර ගත හැකි වූයේ ලකුණු 12ක් පමණයි.
ඒ අනුව තරගයේ ජය තමන් සතු කර ගැනීමට කලම්බූ කින්ග්ස් කණ්ඩායම සමත්වුණා.
තරගාවලියේ දෙවෙනි තරගය ලෙස ගෝල් ගැලැඩියේටර්ස් සහ ජැෆ්නා සැටැර්ලියන් යන කණ්ඩායම් අද තරග වැදීමට නියමිතයි.