පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකු පිළිබද එම අවස්ථාවේ සිටි යුද හමුදාපතිවරයාගෙන් තමන් විමසීමක් කළේ සැකකරුවන්ට ඇති චෝදනා පිළිබද නොදැනුවත්ව බව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පවසනවා.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ සිට අන්තර්ජාලය ඔස්සේ සාක්ෂි ලබා දෙමින් බදියුදීන් මහතා මේ බව කියා සිටියා. එවකට සිටි යුද හමුදාපති මහේෂ් සේනානායක මහතාගෙන් තමන්ට විමසීමක් කිරීමට සිදු වූයේ එම සැකකරු නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන තිබූ නිසා බවයි සාක්ෂිකරු පැවසුවේ. ඕ.එච්.ආර්.ඞී. සංවිධානය පිළිබඳව ද මෙම කොමිසමේදී සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කෙරුණා. අස්ලාම් නැමැත්තෙකු සතොසට අයත් වාහනයක් ඔබගේ අනුදැනුම යටතේ ඕ.එච්.ආර්.ඞී. සංවිධානයේ කටයුතු සඳහා අවභාවිත කළේදැයි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා මෙහිදී ප්‍රශ්න කළා.
තමන් ඒ පිළිබඳ නොදන්න අතර අවභාවිතයක් කර තිබේනම් අමාත්‍යවරයාට පහළින් සිටින වගකිවයුතු නිලධාරීන් අදාළ වැරදිකරුවන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතු බවයි බදියුදීන් මහතා පිළිතුරු දෙමින් පැවසුවේ. අලව්දීන් නැමැති ඥාතියාගේ ඉල්ලීම පදිරි ඔහුගේ දුව හා සිනමන්ඞ් ග්රෑන්ඞ් හෝටලයේ බෝම්බකරු වන ඉන්සාෆ් අහමඞ්ගේ විවාහයට රිෂාඞ් බදියුදීන් මහතා අත්සන් කිරීම මෙන්ම ඔවුන් සමඟ පැවති සබඳතා පිළිබඳව ද කොමිසම විමසීමක් කළා.
ඉන්සාෆ් අහමඞ් ට අයත් කොලෝසියස් කර්මාන්ත ශාලාවක් පිළිබඳව ඔබ දන්නේදැයි රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීිතිඥවරයා සාක්ෂිකරුගෙන් විමසා සිටියා.
” දන්නවා හැබැයි බෝම්බෙන් පස්සේ” යනුවෙන් පිළිතුරු ලබා දුන්නා.
”කර්මාන්ත සංවර්ධන මණ්ඩලයෙන් මෙම සමාගමට තඹ විශාල ප්‍රමාණයක් හා භාවිත කළ පතොරම් කොපු කිලෝග්‍රෑම් 25000 ක් ලබා දුන්නේ ඔබගේ අනුමැතිය යටතේ නොවේදැයි” යළි ප්‍රශ්න කෙරුණා.
”නැහැ. ඔය කියන ආයතනයට මේවා දුන්නා කියලා දැනගත්තේ බෝම්බ ප්‍රහාරයෙන් පසුවයි ” යනුවෙන් සාක්ෂිකරු පිළිතුරු ලබා දුන්නා.
අනතුරුව කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ටැජට් පාරේ පිහිටි නිල නිවසේ දුරකතන ක්‍රියාකරවන්නන් ලෙස කටයුතු කළ ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනෙකුයි.