සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් වරදකරු වූ වසර තුනක සිර දඩුවම් හා දඩ මුදල් නියම වී ඇප මත මුදා හැර සිටි හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්යක්ෂ ජෙනරාල් අනූෂ පැල්පිට යන මහත්වරුන් එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කෙරුණා.
අභියාචනාධිකරණය මෙම නියෝගය සිදු කළේ තමන් අදාළ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඔවුන් ගොනු කර තිබූ අභියාචනයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනුයි.
කුමුදුනී වික්‍රමසිංහ සහ දේවිකා අබේරත්න යන විනිසුරුවරියන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලකුයි මෙම තීන්දුව ලබා දුන්නේ. තීන්දුවට ප්‍රකාශයට පත් කරමින් විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය පැවසුවේ පෙත්සම්කරුවන් සහ නීතිපතිවරයා ඉදිරිපත් කළ කරුණු පුළුල් ලෙස විග්රහ කිරීමෙන් අනතුරුව තීන්දුව ලබාදුන් බවයි. මෙම නඩුවේ අභියාචකයින් ඉදිරිපත් කළ සාක්ෂි හා ලේඛන විශ්ලේෂණය කිරීමේදී ඔවුන් වංක සාවද්‍ය පරිහරණය කිරිමක් සිදු කළ බවට තහවුරු කළ හැකි සාක්ෂි අනාවරණය නොවන බව විනිසුරුවරිය සදහන් කළා. සාවද්‍ය මුදල් පරිහරණය සම්බන්ධයෙන් මහාධිකරණය හමුවේ ගොණු කර තිබූ අධි චෝදනා තුන සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති බව පෙන්වා දුන් විනිසුරුවරිය විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන ලෙසද නියෝග කළා. තීන්දුවේ පිටපතක් වැඩිදුර කටයුතු සදහා කොළඹ මහාධිකරණය වෙත යොමු කරන ලෙසද නියෝග කෙරුණා.
2015 ජනාධිපතිවරණය පැවති සමයේ විදුලි සංදේශ නියාමන කොමිසමට අයත් රුපියල් මිලියන 600 කට ආසන්න මුදලක් වැය කර දිවයින පුරා විහාරස්ථානවලට සිල් රෙදි බෙදාහැරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව පවරා තිබුණා. එම චෝදනාවලට වරදකරු කරමින් ඔවුන්ට 2017 වසරේ සැප්තැම්බර් මස 07 වනදා බරපතල වැඩ සහිත වසර තුනක සිර දඩුවම් හා දඩ මුදල් කොළඹ මහාධිකරණය මගින් නියම කළා.
මෙම දඩුවම් නියම කර ඇති ආකාරය නීතියට පටහැනි බවත් එම සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙසත් ඉල්ලමිනුයි ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට යන මහත්වරුන් අභියාචනාධිකරණය හමුවේ අභියාචනා පෙත්සම් ගොණු කර තිබුණේ.
එම පෙත්සම් දීර්ඝ ලෙස විභාග කිරීමෙන් අනතුරුවයි අභීයාචනාධිකරනය ඔවුන් නිදොස් කොට නිදහස් කරමින් තීන්දුව අද (19) ප්‍රකාශයට පත් කළේ.
[ot-video type=”youtube” url=”[ot-video type=”youtube” url=”https://youtu.be/tTvjJiS3ZGE”]”]