ජීවනෝපාය අහිමි වූ පිරිස් සදහා මෙන්ම නිරෝධායනය වන පවුල් සදහා වියළි සහනාධාර ලබාදීමේ වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මකයි.
රත්නපුර හා කෑගල්ල යන දිස්ත්‍රික්ක දෙකේ නිරෝධායනයට ලක්කර ඇති පවුල් තුන්දහසකට රුපියල් දසදහසක් වටිනා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත ආහාර මලු ලබාදීම සිදුවන බව රත්නපුර ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පවසනවා. ආණ්ඩුකාර කාර්යාලයේ පැවති කොරෝනා විශේෂ හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අත්‍යවශ්‍ය සේවාවන් සදහා කඩිනමින් මුදල් වෙන් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දුන් බව ද ආණ්ඩුකාරවරයා කියාසිටිනවා.
වළල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම් ලාභී පවුල් සදහා රුපියල් පන්දහසේ දීමනාව ලබාදීම මේ වනවිට සාර්ථක වී තිබෙනවා. එමෙන්ම නිරෝධායනය වන පවුල් හතලිස් අටක් සදහා රුපියල් දසදහසක වියළි ආහාර ඇතුළත් සහන මල්ල ලබාදීම ද සාර්ථක වී ඇති බවයි වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් රංජන් ප්‍රියශාන්ත මහතා පවසන්නේ.
කොරෝනා හේතුවෙන් පීඩාවට පත් ආදායම් මාර්ග අහිමි වූ ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් තිස්දහසක් සදහා ආහාර බෙදාහැරීමේ තවත් වැඩපිළිවෙළක් ආරම්භකර තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් හා ගමට එළිය සංවිධානයේ සහාය ඇතිව වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි.
කොරෝනා හේතුවෙන් ආදායම් අහිමි වූ පවුල් සදහා රුපියල් පන්දහසේ දීමනාව ලබාදීම සදහා කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට පමණක් රුපියල් කෝටි 25 ක මුදලක් වෙන්කර තිබෙනවා. මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් පනස් දහසක් සදහා මෙම දීමනාව ලබාදීමට නියමිත බවයි කොලොන්නාව සහකාර ප්‍රාදේශීය ලේකම් චමින්ද පරණමාන මහතා පවසන්නේ.