fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොරෝනාවට මුහුණ දෙන්න මහාභාණ්ඩාගාරයත් සූදානම්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 2, 2020 19:25

ඇදිරිනීතිය පනවා ඇති කොළඹ, කලුතර හා ගම්පහ දිස්ත්‍රික්වල සුදුසුකම් ලත් ජනතාවට මෙවරත් රුපියල් පන්දහසක දීමනාව ලබා දෙන බව ආර්ථික පුනර්ජිවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සදහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්‍ෂ මහතා පවසනවා.

ආසාදිතයන් හා ආශ්‍රිතයන් නිවෙස්වල නිරෝධායනය කිරීම සදහා රජය මේ වන විට තීරණය කර තිබෙනවා. ඔවුන් සදහා රුපියල් දස දහසක වටිනාකමින් යුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මල්ලක් ලබා දීම ද දැන් සිදු කෙරෙන බවයි බැසිල් රාජපක්‍ෂ මහතා සදහන් කළේ. අරලියගහ මන්දිරයේ අද පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මල්ලක් නොලැබෙන හා ඇදිරිනීතිය නිසා ජීවනෝපාය අහිමි වූ පවුල් සදහා රුපියල් පන්දහසක දීමනාව හිමිවනු ඇති.

ප්‍රාදේශිය ලේකම් කාර්යාල මට්ටමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන අතර ග්‍රාමීය කමිටු හරහා ජනතාවට සහන සැලසීම සිදු කෙරෙනවා. ජලය, විදුලිය, ඉන්ධන, ගෑස් ඇතුලු අත්‍යවශ්‍ය සේවා නොකඩවා පවත්වාගෙන යමින් කටයුතු කිරීමට ද පියවර රැසක් ගෙන ඇති බවයි බැසිල් රාජපක්‍ෂ මහතා කියාසිටියේ. කිසියම් පුද්ගලයෙකුට රෝග ලක්‍ෂණ පහළ වී ඇත්නම් රෝහල් කරා පැමිණීම වෙනුවට දුරකථන මගින් සෞඛ්‍ය අංශ දැනුවත් කර වෛද්‍ය පරික්‍ෂණ සදහා යොමු වීමේ පහසුකම් ද සලසා තිබෙනවා. නව නිරෝධායන ක්‍රමවේදය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම ග්‍රාමීය කමිටුවලට පැවරෙන බවයි රාජපක්‍ෂ මහතා සදහන් කළේ.

පසුගිය කාලය තුළදී රජයක් ලෙස ගත් වැඩපිළිවෙළ නිසා සෙසු රටවලට සාපේක්‍ෂව ශ්‍රී ලංකාව කොවිඩ් නයින්ටීන් අර්බුදය හමුවේ ඉදිරියෙන් සිටින බව ද ඒ මහතා පෙන්වා දුන්නා. ජනතාවට සහන ලබා දීම සදහා මහා භාණ්ඩාගාරය ඔස්සේ අවශ්‍ය වුවහොත් අමතර ප්‍රතිපාදන සැපයීමට ද සූදානම් බව බැසිල් රාජපක්‍ෂ මහතා මෙහිදී සදහන් කළා. සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් පරිදි අත්‍යවශ්‍ය ජීවනෝපාය කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කම ද අවධාරණය කෙරුණා. පවතින තත්ත්වය හමුවේ රටේ ණය වාරික ගෙවා ගැනීමට රජයට නොහැකි වෙතැයි විරුද්ධ පාක්‍ෂිකයන් සිතුව ද ඩොලර් බිලියන 4යි දශම 2 ක ණය වාරික ගෙවා අවසන් කිරීමට වත්මන් රජය සමත් වූ බව ද බැසිල් රාජපක්‍ෂ මහතා හෙළි කළා. පසුගිය මාසයේ අපනයන ආදායම ඇමෙරිකා ඩොලර් මිලියන 900 ක් වී තිබෙනවා. අත්‍යවශ්‍ය කරුණකට පමණක් ජනතාව සිය නිවෙස්වලින් පිටත් විය යුතු බවයි රාජපක්‍ෂ මහතා පෙන්වා දුන්නේ. සම්පුර්ණයෙන්ම රට කොවිඩ් වසංගතයෙන් මුදා ගැනීමේ අරමුණ ඇතිව රජය කටයුතු කරන බව ද ඒ මහතා අවධාරණය කළා.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 2, 2020 19:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්