පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන විට රටේ ආරක්ෂක අංශවල පැහැදිලි බිද වැටීමක් සිදුව තිබූ බව එවකට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කොමිසම ඉදිරියේ ඊයේ පිළිගත්තා. මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවට තුන්වන දිනටත් සාක්ෂි ලබාදීමට පැමිණියා.
කොමිසම හමුවේ දෙවන දිනටත් ඊයේ සාක්ෂි ලබාදෙමින් හිටපු අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ආණ්ඩුවක් ලෙස පැවති යහපාලන රජයේ අඩුපාඩුකම් බොහොමයක් දක්නට ලැබුණු බවයි. එහෙයින් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවීමේ වගකීම එම ආණ්ඩුව නියෝජනය කළ සියළු දෙනා භාරගත යුතු බව ද රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදි කියා සිටියා.
රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය – ජාතික ආරක්ෂක කවුන්සලයට රටේ අග්‍රාමාත්‍යවරයා කැදවීම වැදගත්ද.
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ – “සාමාන්‍යයෙන් කැදවීමක් කළා. කිසියම් අවස්ථාවක ජනාධිපති තනතුර හිස් වුණොත් ආරක්ෂක අමාත්‍යාංශයේ වැඩ බලන්න අගමැති දැනං ඉන්න ඕනේ. ”
රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය – ඔබ අග්‍රාමාත්‍යවරයා ලෙස සිටියදි පැවති සෑම ජාතික ආරක්ෂක කවුන්සලයකටම සහභාගි වුණාද.
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ – “මම සමහර වෙලාවට සහභාගි වුණේ නැහැ. මොක ද ඉස්සර වගේ එක දිනයක් තිබුණේ නැහැ. පැය 24 කට කළින් තමයි කියන්නේ හෙට ආරක්ෂක කවුන්සලය තියෙනවා කියලා. එතකොට අපි යොදාගෙන හිටපු කාර්යයන් වෙනස් කරන්න අමාරුයි. සතියකට සැරයක් ජාතික ආරක්ෂක කවුන්සලය පැවැත්වීම වැදගත්. මගේ යටතේ තිබුණ ආර්ථික කමියුව අපි සෑම සතියකම නියමිත දවසක රැස්වුණා. නමුත් ආරක්ෂක කවුන්සලය එහෙම රැස්වුණේ නැහැ. ”
රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය – 2018 ඔක්තෝම්බර් 26 සිට 2019 අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය එල්ල වූ දිනය දක්වා කිසියම් හේතුවක් මත ජනාධිපතිවරයා විසින් ඔබව ජාතික ආරක්ෂක කවුන්සලයට නොකැදවු බව පිළිගන්නවාද..?
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ – “ඔව් මම පිළිගන්නවා. 2018 ඔක්තෝම්බර් 26 ඉදලා දෙසැම්බර් 16 වෙනකන් මම අගමැති නෙමේ. 2019 ජනවාරි ඉදලා අප්‍රේල් වෙනකන් මාව ජාතික ආරක්ෂක කවුන්සලයට කැදෙව්වේ නැහැ. ”
රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය – ඔබ සහ හිටපු ජනාධිපතිවරයා අතර යම් මත ගැටුමක් පැවතුනාද.
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ -” එහෙම ලොකු මත ගැටුම් තිබුණේ නැහැ. හිටපු ජනාධිපතිවරයා පොදු අපේක්ෂකයා ලෙස තරග කරලයි ජනාධිපති ලෙස පත්වුණේ. ඒ නිසා විවිධ පාර්ශ්ව සහ ජනාධිපතිවරයා අතර යම් වෙනස් ආකල්ප තිබුණා. ප්‍රශ්න තියෙනවා ඕනෑම ආණ්ඩුවක ඒ වුණාට අපි ආණ්ඩුවක් ලෙස ඉස්සරහාට ගියා. ”
රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය – යුද හමුදා බුද්ධි අධ්යක්ෂ මණ්ඩලයේ අධ්යක්ෂ ලෙස මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා ඉස්ලාම් අන්තවාදය පිළිබද කළ කරුණු දැක්වීම් වලට ඔබ ජාතික ආරක්ෂක කවුන්සලයේදි විරුද්ධ වුණාද.
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ – “මට එතුමාගේ දැනුම ගැන ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මම ඔය කියන විදිහට ප්‍රතිචාර දක්වලත් නැහැ. නමුත් එතුමාගේ ක්‍රියාකලාපය ගැන මට ප්‍රශ්න තිබුණා. මම ඒ ටික මාධ්‍ය නැතුව කියන්නම් ”
රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය – ජාතික ආරක්ෂාවට තර්ජනයක් යැයි පවසමින් හමුදා ප්‍රධානින් මුස්ලීම් කාන්තාවන් පළදින නිකාබය තහනම් කිරීමට ජාතික ආරක්ෂක කවුන්සලයට යෝජනාවක් ගෙන ආ විට ඔබ ඊට විරුද්ධ වුයේ ඇයි.”
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ – මම එයට විරුද්ධ වුණේ නැහැ. මොකද ඒ ගැන ඡන්දයක් තිබුණේ නැහැ. හැබැයි මම ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා. ජනරාල් ක්‍රිශාන්ත ද සිල්වා ඔය යෝජනාව ගෙනාවේ යුද හමුදාවේ සෝදිසි මෙහෙයුම් වලදි බාධා එල්ල වෙනවා කියලා.
ජනාධිපති කොමිසමේ සාමාජික අභියාචනාධිකරණ විනිසුරුවරයා- “හරි ඔබ ඊට විරුද්ධ වුණේ මුස්ලිම් සමාජයෙන් තොරතුරු එන එක නැවතෙයි කියලනේ. එහෙමනම් තොරතුරු එන්න එපැයි. නමුත් අප්‍රේල් 21 මේ රටේ ස්ථාන 08 ක බෝම්බ පුපුරණකල් සහරාන්ගේ මේ ප්‍රහාරය ගැන විදෙස් බුද්ධි තොරතුරට අමතර කිසිම තොරතුරක් මේ රටේ රාජ්‍ය බුද්ධි සේවයට ලැබී තිබුණේ නැහැනේ ”
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ – ” සාම්ප්‍රදායික මුස්ලිම් සමාජයෙන් අපිට තොරතුරු ආවා. දෙමළෙන් තිබ්බ සහරාන්ගේ දේශන මමත් එහෙන් මෙහෙන් අහලා තිබ්බා. නමුත් එතනින් එහාට මේ සම්බන්ධයෙන් විමර්ශන කරන එක තිබ්බේ අපේ ආරක්ෂක අංශ අතේ. අප්‍රේල් 21 හෝ ඊට පෙර ප්‍රහාරයක් එල්ල වන බවට ඉන්දියාවට තොරතුරු ලැබිලා අපිට නොලැබුණා කියන්නේ ඒක අපේ අඩුපාඩුවක් ”
ජනාධිපති කොමිසමේ සාමාජික අභියාචනාධිකරණ විනිසුරුවරයා- “හිටපු අග්රාමාත්යතුමනි සහරාන් නුවරඑළියේ පන්ති පැවැත්තුවා කියලා මිනිස්සු පොලිසියට කියලා තියෙනවා. පොලිසිය එතනට යද්දි සහරාන් ඉදලත් තියෙනවා. නමුත් අත්අඩංගුවට ගැනීමක් සිදුවෙලා නැහැනේ. ”