fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ධීවරයින්ට කාලගුණයෙන් අනතුර ඇඟවීමක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2020 16:42

හෙට උදෑසන දක්වා මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදීම අනතුරුදායක බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ධීවර හා නාවුක ප්‍රජාව මේ පිළිබද අවධානයෙන් සිටින ලෙසයි දැනුවත් කෙරෙන්නේ.

පුත්තලම සිට කොළඹ ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ. මීගමුවේ සිට පුත්තලම මන්නාරම සහ කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා වන මුහුදු ප්‍රදේශ ද රළු විය හැකියි. එමෙන්ම නුවඑළිය, මහනුවර රත්නපුර, කෑගල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 75 ඉක්ම වූ තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර බලංගොඩ පින්නවල ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් ගසක් කඩා වැටීමෙන් තේ දළු නෙලමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. බරපතල තුවාල ලැබූ තවත් කාන්තාවක බලංගොඩ මූලික රෝහලට ඇතුළත් කෙරුණා.

මධ්‍යම කදුකරයට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් වතු කාර්ය මණ්ඩල නිල නිවාස 03ක් මතට මාර ගසක් කඩා වැටී තිබෙනවා. නිවාසවලට දැඩි හානි සිදු වූ අතර තුවාල ලැබූ කාන්තාවට දික්ය මූලික රෝහලට ඇතුළත් කෙරුණා. නාවලපිටිය ක්වින්ස්බෙරි වතුයායේ නිවසකට ද සුළගින් දැඩි හානි සිදු වූ අතර එහි පදිංචිව සිටි පුද්ගලයන් 6 දෙනා ආරක්‍ෂිත ස්ථානයකට යොමු කිරිමට කටයුතු කෙරුණා. මේ අතර හැටන් නගරයේ වෙළෙසසල් 2 කට පස් කන්දක් කඩා වැටීමෙන් එහි සේවකයන් දෙදෙනෙකු ද තුවාල ලැබූ බවයි හැටන් පොලීසිය සදහන් කළේ.

ඌව පණගම  ප්‍රදේශ හරහා හමාගිය දැඩි සුළගකින් එළවළු වගාබිම් සහ නිවාස කිහිපයකට හානි සිදු වුණා. වැලිමඩ මස්පන්න  මාර්ගයේ පල්ලෙවෙල ප්‍රදේශයේදී මාර්ගයට ගසක් කඩා වැටීමෙන් ගමනාගමනයට බාධා එල්ල වුණා.

උඩුපිල ප්‍රාදේශිය රෝහලේ ගොඩනැගිල්ලක් මතට ගසක් කඩා වැටීමෙන් රෝහලේ දෛනික කටයුතු නවතා දැමීමට සිදුවුණා. ප්‍රදේශයේ තවත් නිවාස 6 කට ද ගස් කඩා වැටීම හේතුවෙන් හානි සිදුව ඇති අතර ප්‍රදේශයේ විදුලි සැපයුමට ද ඉන් බාධා එල්ල වුණා.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2020 16:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්