ත්‍රස්තවාදිය මැඩ පැවැත්වීමට ස්ථාපිත කරන ලද විශේෂ කාර්ය බලකායට 2017 වසරේදී විශේෂ ගැසට් පත්‍රයකින් සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය වැටලීම් මෙන්ම නීති විරෝධී පස් කැපීම් ගල් හා වැලි ප්‍රවාහනයන් සෙවීම් ඇතුළු රාජකාරී රැසක් එක් කළ බව එහි අණ දෙන නිලධාරියා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතා ප්‍රකාශ කළා. එවැනි රාජකාරීවලට ප්‍රමුඛතාවක් දීමට සිදු වූ නිසා නැගෙනහිර පළාතේ හිස ඔසවමින් තිබූ ඉස්ලාම් අන්තවාදය පිලිබඳ අවධානය යොමු කිරීමට නොහැකි වූ බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතා ජනාධිපති කොමිස හමුවේ සාක්ෂි ලබා දීම සදහා ඊයේ පැමිණ සිටියේ තුන්වන දිනටයි. සාක්ෂි විමසීම ආරම්භ කරමින් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා විමසුවේ ජනාධිපති කොමිසම මීට පෙර දන්වා ඇති ආකාරයට 2017 වසරේ මාර්තු 18 සහ 2017 මාර්තු 24 යන දිනවලට අදාළ පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශයේ වාර්තා කොමිසමට ඉදිරිපත් නොකිරීමට හේතුව කුමක්ද යන්නයි.
ඊට පිළිතුරු ලබාදෙමින් ලතීෆ් මහතා පැසවුවේ 2017 ජුලි මාසයෙන් පසු වාර්තා කිහිපයක් පමණක් කොමිසමට ඉදිරිපත් කළ බවයි. එහෙත් එම කිසිදු වාර්තාවක 2017 මාර්තු 10 කාත්තන්කුඩි අලියාර් මංසන්ධියේ ගැටුම සම්බන්ධයෙන් සඳහන් නොවන බව රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා කොමිසමට පෙන්වා දුන්නා.සහරාන් හෂීම් සම්බන්ධ අදාළ ගැටුමෙන් පසු එම වාර්තා කොමිසමට ඉදිරිපත් නොකෙරුවේ මන්දැයි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා සාක්ෂිකරුගෙන් විමසූ අවස්ථාවේ ඊට සුවිශේෂී හේතුවක් නැති බවත් තමන් අපේක්ෂා කළේ 2019 න් පසු වාර්තා පමණක් ඉදිරිපත් කිරීමට බව ලතීෆ් මහතා සදහන් කළා.
මෙහිදී ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා සාක්ෂිකරුගෙන් විමසූවේ ඔබට මතකද මෙම කොමිසම ඔබෙන් ඉල්ලුවේ ඉස්ලාම් අන්තවාදය සම්බන්ධයෙන් 2015 සිට එස්.ටී.එෆ්. බුද්ධි අංශ වාර්තා බව යනුවෙනුයි.? එහිදී මතකයි ස්වාමීනි ලෙස ලතීෆ් මහතා පිළිතුරු ලබා දුන්නා. අනතුරුව ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා ප්‍රශ්න කළේ ඉස්ලාම් අන්තවාදය පිළිබද එස්.ටී.එ.ෆ් බුද්ධි අංශයට වාර්තා නොවීමට හේතුව කුමක් ද යන්නයි. හුඟක් වෙලාවට අපිට වාර්තා වුණේ මුස්ලිම් ජනකොටස් අතර ගැටුම් තමයි. පශ්චාත් යුද කාලෙ එස්.ටී.එෆ්. කාර්ය භාරය වුණේ පොලිස් නිලධාරීන්ට සහාය වෙමින් නීතිය හා සාමය ආරක්ෂා කිරීම. නමුත් ස්වාමීනි 2017 අගෝස්තු 11 නිකුත් කළ ගැසට් නිවේදනයක් මගින් එස්.ටී.එෆ්. එකට නියම කළා සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය වැටලීම් කරන්න. යනුවෙන් එයට පිළිතුරු ලබා දෙමින් ලතීෆ් මහතා ප්‍රකාශ කළා.
ඉන් අනතුරුව සභාපති විනිසුරවරයා විමසුවේ නැගෙනහිර ඉස්ලාම් අන්තවාදය පිළිබඳ තොරතුරු සොයා බැලුවේද යන්නයි. එසේ තොරතුරු සොයා නොබැලූ බවත් 2017 වසරෙන් පසු තමන්ට ලැබුණු වගකීමට ප්‍රමුඛතාවයක් ලබාදී කටයුතු කළ බවත් රාජ්‍ය බුද්ධි සේවයෙන් විටින් විට ලැබුණු නියෝග අනුව එල්.ටී.ටී.ඊ. සැකකටයුතු ක්‍රියා සහ බෝම්බ වල දමා ඇති ස්ථාන ගැන සොයා බැලීම සිදු කළ බවත් ලතීෆ් මහතා ප්‍රකාශ කළා. ඉස්ලාම් අන්තවාදී කටයුතු පිළිබඳ සෙවීමට තමන්වත් සම්බන්ධ කර ගනීවි යන බලාපොරොත්තුවෙන් තමන් පසු වූ බවත් ලතීෆ් මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කළා.
යහපාලන රජය බලයට පත්වීමට පෙර සතිපතා පැවති බුද්ධි සම්බන්ධීකරණ රැස්වීම්වලට එස්.ටී.එෆ් අණදෙන නිලධාරියා හා එස්.ටී.එෆ්. බුද්ධි ප්‍රධානියා සහභාගී වූවත් යහපාලන රජය බලයට පත් වීමෙන් පසු එස්.ටී.එෆ්. නියෝජනයක් අවශ්‍ය නොමැති බව දන්වා ඇති බවත් එසේ කැඳවීමක් සිදු කළා නම් අන්තවාදය පිළිබද අවධානය යොමු කරන බව එස්.ටී.එෆ්. හිටපු අණදෙන නිලධාරියා කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් කියා සිටියා..