අන්තවාදීන්ගේ ක්‍රියාකලාපයන් සම්බන්ධ විමර්ශනවලට යුද හමුදාව සම්බන්ධ කර නොගැනීම හා යුද හමුදා බුද්ධි අංශ ලබා දුන් තොරතුරුවලට ප්‍රමුඛතාව ලබා නොදීම පාස්කු ප්‍රහාරයට හේතු වූ බව හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා ප්‍රකාශ කළා.
තමා සහරාන් ගැන දන්නේ යාපනය ආඥාපති ලෙස කටයුතු කළ සමයේදී බව ද හිටපු යුද හමුදාපතිවරයා කොමිසම හමුවේ හෙළි කළා. පොලීසිය හා යුද හමුදාව අතර ගැටුම් නොතිබුණ ද දේශපාලන බලපෑම් මත බෙදීම් ඇති වී තිබූ බව ඔහු වැඩිදුරටත් කියාසිටියේ පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කෙරෙන කොමිසම හමුවේ පළමු වරට ඊයේ (07) සාක්ෂි ලබා දෙමින්.
හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා ඩුබායි රාජ්‍යයේ අල් ලාදා නගරයේ ලැවෙන්ඩ හොටෙල් එපාර්ට්මන්ට් හි කාමර අංක 117 සිට වීඩියෝ තාක්ෂණය හරහා කොමිසම හා සම්බන්ධ වෙමින් සාක්ෂි ලබා දුන්නා. මෙරට වේලාවෙන් පස්වරු 2.50ට පමණ මහේෂ් සේනානායක මහතා සාක්ෂි ලබා දීම ආරම්භ කළා.
රජයේ අධි නීතිඥවරයා
ඔබ මුලින්ම අයි එස් අයි එස් ත්රස්තවාදීන් ගැන දැන ගත්තේ මොන කාලයේ ද ? අයි එස් සිතියමේ ලංකාව කොටසක් වෙලා තිබුණ බව ඔබ දැනගෙන හිටියා ද ?
මහේෂ් සේනානායක
මම 2010 ඉඳලා හිටියේ ඩුබායිවල. ඒ නිසා ලිබියාව ඇතුලූ මැද පෙරදිග සිද්ධීන් මට සමීපයි. මම දැනගෙන හිටියා කවදාහරි මේ ත්‍රස්තවාදී අවදානමට ලංකාවටත් මුහුණ දෙන්න වෙනවා කියලා. මම යුද හමුදාපති වුණාම දැන ගත්තා අයි එස් සිතියමේ කොටසක් ලෙස ඔවුන් ලංකාව නම් කරලා තියෙනවා කියලා. එහෙම බලද්දි ලංකාවට බලපෑමක් තියෙන බවත් අන්තවාදී මත දරන සංවිධාන ලංකාවේ තිබෙන බවත් මම 2015 ට කළින් දැනගෙන හිටියා.
රජයේ අධි නීතිඥවරයා
ඔබ ඒ වෙනකොට සහරාන් හෂීම් හා ජාතික තවුහිද් ජමාද් සංවිධානය ගැන දැනගෙන හිටියා ද ?
මහේෂ් සේනානායක
යුද හමුදා බුද්ධි අධ්යක්ෂ මණ්ඩලය ඒ ගැන මාව දැනුවත් කරලා තිබුණා. මාවනැල්ල බුදුපිළිමවලට හානි සිදු කිරීම, වනාතවිල්ලූව පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීම ආදියට සහරාන් හෂීම් සම්බන්ධ බව පාස්කු ප්‍රහාරයට වසර කිහිපයකට පෙර සිටම යුද හමුදා බුද්ධි අධ්යක්ෂ විසින් ආරක්ෂක කවුන්සිලයේ දී වගේම බුද්ධි සම්බන්ධීකරණ රැස්වීමේ දී කරුණු දක්වලා තිබුණා. ඒ වගේම සහරාන් හෂීම්ට බෝට්ටුවකින් ඉන්දියාවට පලා යන්න හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාගේ සහෝදරයෙක් උපකාර කර තිබූ බවට යුද හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරු ගැනත් අපි ජාතික බුද්ධි ප්‍රධානියා දැනුවත් කළා. නීතිය ක්‍රියාත්මක කරන්න බලය තිබුණු ආයතන එය කරාවි කියලා අපි බලාපොරොත්තු වුණා.
රජයේ අධි නීතිඥවරයා
රාජ්‍ය බුද්ධි සේවයයි යුද හමුදා බුද්ධි අංශයයි තොරතුරු ඉදිරිපත් කිරීමේ දී තරගයක් තිබුණා ද ?
මහේෂ් සේනානායක
ඒක ලෝකයේ තියෙන සාමාන්‍ය තත්ත්වයක්. අපේ රාජ්‍ය බුද්ධි සේවය හා යුද හමුදා බුද්ධි අංශය අතරත් ඒක මම දැක්කා. මම හිතන විදිහට ඒ තරගය හා නිසි පරිදි තොරතුරු හුවමාරු කර නොගැනීම තමයි හේතු වුණේ මට මේ විදිහට කොමිසම ඉදිරියේ සාක්ෂි දෙන්න.
රජයේ අධි නීතිඥවරයා
ඔබ ඒ පිළිබඳ ඔබේ අධීක්ෂණ නිලධාරියා දැනුවත් කළා ද ?
මහේෂ් සේනානායක
මම එවකට ආරක්ෂක ලේකම්වරු ලෙස කටයුතු කළ කපිල වෛද්‍යරත්න හා හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට බුද්ධි අංශ සහයෝගයෙන් වැඩ කරන්නේ නැහැ කියන කාරණය කිව්වා. ඒ ගැන කතා කරමු කිව්වට ඒකට උත්තරයක් හම්බ වුණේ නැහැ. අන්තවාදීන් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවල දී යුද හමුදා බුද්ධි අංශය හා පොලිස් දෙපාර්තමේන්තුව අතර තිබුණ විශේෂ කාර්යාංශය ගැටලූ ඇතිකර ගත්තා. පොලිස් දෙපාර්තමේන්තුවේ විශේෂ කාර්යාංශය සමග ප්‍රශ්න ඇති වුණා. සී අයි ඞී එක තමයි එහෙම ගැටලූ ඇති කළේ. සී අයි ඞී ය ගැන උදාහරණයක් කියන්නම්. වනාතවිල්ලූවේ පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමේ තොරතුරු අපි ඔවුන් සමග බෙදා ගත්තා. එතැනින් පස්සේ එහි පරික්ෂණවලට මැදිහත්වෙන්න යුද හමුදාවට ඔවුන් අවස්ථාව දුන්නේ නැහැ. ඒ වගේ පරික්ෂණ කරන්න යුද හමුදාවට විශේෂ හැකියාවක් තියෙනවා. මම හේමසිරි ප්‍රනාන්දු හිටපු ආරක්ෂක ලේකම්තුමාගෙන් ඉල්ලූවා ඒ පරික්ෂණයට සම්බන්ධ වෙන්න අපට අවස්ථාව දෙන්න කියලා. නමුත් අපට අවස්ථාවක් ලැබුණේ නැහැ. මාවනැල්ලේ බුදුපිළිම කැඞීම සිද්ධ වෙච්ච අවස්ථාවේ විමර්ශනවලට සහාය වෙන්න අපේ නිලධාරීන් ගියහම සහාය අවශ්‍ය නැහැ කියලා ගම්පොළ පොලිස් නිලධාරීන් යුද හමුදා නිලධාරීන් පලවා හැරලා තිබුණා. අපව මේ වගේ පරික්ෂණවලට සම්බන්ධ කර නොගැනීම රට මේ වගේ වාතාවරණයකට මුහුණ දෙන්න හේතු වුණා. අපිට අත්අඩංගුවට ගන්න බලය නැහැ. දිගින් දිගටම අපි තොරතුරු ලබා දුන්නා. අපි ලබා දුන්නු තොරතුරු ගැන පොලිස්පති පූජිත් ජයසුන්දර, සී අයි ඞී යේ රවී සෙනෙවිරත්න, ටී අයි ඞී එකේ නාලක ද සිල්වා, වරුණ ජයසුන්දර, එස් අයි එස් එකේ නිලන්ත ජයවර්ධන, සී එන් අයි සිසිර මෙන්ඩිස් කියන මහත්වරු ප්‍රමුඛතාවක් දුන්නේ නැහැ. අපි දුන්න තොරතුරුවලට ප්රමුඛත්වයක් ලබා නොදීම මෙම ප්‍රහාරය එල්ල වීමට ප්‍රධාන හේතුවක්.
රජයේ අධි නීතිඥවරයා
2018 වසරේ මුල් භාගය වන විට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයාත් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහත්තයාත් අතර කොයි වගේ රාජකාරි සම්බන්ධයක් තිබුණ ද කියලා ඔබ නිරීක්ෂණය කළා ද ?
මහේෂ් සේනානායක
ජනාධිපතිවරයාගෙන් මට තිබුණ පිළිගැනීම පූජිත්ට තිබුණේ නැහැ. 2018 මැද භාගය වෙද්දි තමයි ඔවුන් දෙදෙනා අතරේ අමනාපවීමක් මට නිරීක්ෂණය වුණේ. ඒ වෙද්දි ජනාධිපතිවරයාගේ ජීවිතයට තර්ජනයක් එල්ල වෙලා තියෙනවා කියලා කතාවකුත් පැතිරුණා. ඒත් එක්කම අපි අහලාවත් නැති පුද්ගලයෝ එළියට ඇවිත් මාධ්‍ය ඔස්සේ සංදර්ශන තියන්න පටන් ගත්තා.
කොමිසමේ සභාපති විනිසුරු
නාමල් කුමාර පිටිපස්සේ හිටපු පුද්ගලයා හරි ආයතනය හරි දන්නවා ද ?
මහේෂ් සේනානායක
ආයතනයක් විදිහට පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ස්වාමීනි, පුද්ගලයෙක් විදිහට එම කොට්ඨාසයේ අධ්යක්ෂ ධුරය දැරූ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා.
රජයේ අධි නීතිඥවරයා
අපේ‍්‍රල් 21 සිදු වූ ත්‍රස්ත ප්‍රහාර මාලාව ගැන මුලින්ම දැනුවත් වුණේ කොහොම ද ?
මහේෂ් සේනානායක
යුද හමුදා මූලස්ථානයට මායිම්ව ෂැංග්‍රිලා හෝටලය පිහිටලා තියෙනවා. පිපිරීම ගැන සැණෙකින් දැනුවත් වුණා. පස්සේ කිංස්බරි හෝටලයේ සිදුවුණු පිපිරීම ගැනත් දැන ගන්න ලැබුණා. ඒ පිපිරීම් සිද්ධ වෙලා විනාඩි කිහිපයක් යනකොට මෙය සහරාන් ඇතුලූ අන්තවාදී කණ්ඩායමක් සිදු කළ බව තහවුරු වුණා. ඒ අපේ බුද්ධි අංශ සතුව තිබුණ තොරතුරු මත. හදිසි නීතිය ක්‍රියාත්මක කර නොතිබුණත් බුද්ධි නිලධාරීන්ට අත්අඩංගුවට ගැනීම් සිදු කිරීමට අවසර දුන්නා.