පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබද විදෙස් බුද්ධි අංශයකින් කළ පූර්ව දැනුවත් කිරීමට අමතරව ප්‍රහාරයක් පිළිබද වෙනත් කිසිදු නිශ්චිත තොරතුරක් ලබාදීමට මෙරට රාජ්‍ය බුද්ධි සේවය අසමත් වූ බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශ කළා.
මේ අතර ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ බුද්ධි තොරතුරක් නිකුත් කිරීමේ දී එම තොරතුර සම්බන්ධයෙන් ගතයුතු පියවර නිර්දේශ කළ යුතු වුවද මෙරට රාජ්‍ය බුද්ධි සේවය ලබාදුන් වාර්තාවල එවැනි කිසිදු නිර්දේශයක් සදහන් නොවූ බවයි.
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඊයේ පස්වන දිනටත් ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නා. එහිදී රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ “එක රැයකින් එළිවෙන්නේ නැහැ කියලා කියමනක් තියෙනවා වගේම පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයත් එක රැයක සැළසුමක් නොවන බව ඔබ පිළිගන්නේද?”
ස්වාමීනී සහරාන් ඇතුළු කණ්ඩායම අන්තවාදී මතවාදයක් ගෙන ගියාට මෙවැනි ප්‍රහාරයක් සිදුකළ යුතුයි කියන තීරණයට ඔවුන් කොයි අවස්ථාවේ පැමිණියාද කියලා මට හරියටම කියන්න බැහැ. ප්‍රහාරයෙන් පසු මට පෞද්ගලික තොරතුරක් ආවා සහරාන් තවත් දරුවෙකු අපේක්ෂාවෙන් වෛද්‍යවරයෙකු හමුවී තිබුණා කියලා. එවැනි දෙයක් ඇත්තටම වෙලා තිබුණා නම් ඔහුගේ මනසට මෙවැනි විනාශකාරී සිතුවිල්ලක් කොයි මොහොතේ ආවද කියන එක මට කියන්න අමාරුයි. අනික ප්‍රහාරයක් පිළිබඳ විදෙස් බුද්ධි අංශයකින් කළ පෙර දැනුම්දීම් ස්ථිර කර ගැනීමට හෝ මෙරට රාජ්‍ය බුද්ධි සේවය සමත් වුණේ නැහැ. ඒ පිළිබඳ ප්‍රහාරය වෙනකල්ම කිසිදු තොරතුරක් රාජ්‍ය බුද්ධි සේවය සොයාගෙන තිබුණෙත් නැහැ යනුවෙන් හිටපු පොලිස්පතිවරයා පිළිතුරු ලබාදුන්නා.
මෙහිදී රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ සහරාන් ඇතුළු කණ්ඩායම මෙවැනි ප්‍රහාරයක් එල්ල කළේ ඔවුන් අයි එස් සංවිධානයේ මතය පිළිගත්ත නිසාද?
පූජිත් – මට එහෙම කාගෙවත් මනසෙ තිබ්බ දෙයක් ගැන මගේ මතය කියන්න බැහැ. ඔවුන් අයි එස් මතය පිළිගත්තා වෙන්න පුළුවන්. ඒ වගේම මේ ප්‍රහාරය වෙනත් කාගෙහරි වුවමනාවකට කළා වෙන්න පුළුවන්. නමුත් මට කියන්න තියෙන එකම දේ මේ සිදුවීමෙන් පසු ඇතිවූ සෝචනීයම තත්ත්වයට ලක්වුණු පුද්ගලයින් දෙදෙනාගෙන් කෙනෙක් හැටියට මේ සිදුවීම ගැන සියුම් ලෙස සොයා බැලිය යුතුයි කියන එකයි.
අභියාචනාධිකරණ විනිසුරු – ඔබ ඔය කියන්නේ මෙරට රාජ්‍ය බුද්ධි සේවය ඊශ්‍රායලය, පලස්තීනය වැනි රටවල වෙන සිදුවීම් ගැන ඔබව දැනුවත් කළා. නමුත් අප්‍රේල් 21 බෝම්බ පුපුරණකල් විදෙස් බුද්ධි තොරතුරට අමතරව රාජ්‍ය බුද්ධි සේවය තමන්ගේ කියලා කිසිම තොරතුරක් තහවුරුකර ගැනීමක් කරගත්තේ නැහැ කියන එකද?
පූජිත් – ඔව් ස්වාමීනී. විදෙස් බුද්ධි තොරතුරට අමතරව අපේ රාජ්‍ය බුද්ධි සේවය ප්‍රහාරයක් පිළිබඳ කිසිදු තොරතුරු තහවුරුකර ගැනීමක් සිදුකරලා නැහැ.
අභියාචනාධිකරණ විනිසුරු – ඒ කියන්නේ අප්‍රේල් 4 විදෙස් බුද්ධි අංශයකින් පූර්ව දැනුවත් කිරීමක් සිදු නොවුන නම් මෙරට රාජ්‍ය බුද්ධි සේවය නොදැනම අප්‍රේල් 21 බෝම්බ පිපිරෙන්න තිබ්බා කියන එකද?
පූජිත් – ස්වාමීනී එහෙම වෙන්නත් තිබුණා. රාජ්‍ය බුද්ධි සේවය විදෙස් බුද්ධි තොරතුර අපිට ලබාදුන්නමිසක් කිසිම දෙයක් කළේ නැහැ. රාජ්‍ය බුද්ධි සේවය රාජකාරි කළේ වෙන අරමුණක් සහිතව. මට ඒ ගැන හොයන්න බලතල තිබ්බේ නැහැ. රටේ ප්‍රමුඛතම බුද්ධි අංශය වෙලත් රාජ්‍ය බුද්ධි සේවය කළේ වෙනත් රටවල සිදුවන සිදුවීම් එක්ක මෙහෙත් වෙන්න පුළුවන් ප්‍රවණතාවක් තියෙනව කියලා පෙන්නපු එක විතරයි.
ඉන් අනතුරුව කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතායි.
රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය – ජනාධිපතිවරයා විදේශගතවූ අවස්ථාවක දී ඔහුව සෘජුවම ඇමතීමේ හැකියාවක් ඔබට තිබුණද?
හේමසිරි – නැහැ ස්වාමීනී මම ආරක්ෂක ලේකම් වුණාට මට එහෙම හැකියාවක් තිබුණේ නැහැ. මම ජනාධිපතිවරයාට ඇමතුම් ගත්තේ ආරක්ෂක අමාත්‍යංශය හෝ ජනාධිපති ලේකම් කාර්යාලය හරහායි.
අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය – බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ නිලන්ත ජයවර්ධන ඉකුත් වසරේ අප්‍රේල් 18 ඔබව අමතා තාලන්කුඩා පිපිරීම සහරාන්ගේ ඩ්‍රයි රන් එකක් කියලා පැවසුවද?
හේමසිරි – කාත්තන්කුඩියේ පිපිරීමක් වෙලා තියෙනව කිව්වා මතකයි. ඒත් ඒක සහරාන්ගේ ඩ්‍රයි රන් එකක් කිව්වා කියලා මට මතක නැහැ.
එහිදී කොමිසමේ සභාපති විනිසුරුවරයා ප්‍රශ්න කළේ – ප්‍රහාරයක් එල්ලවන බවට අප්‍රේල් 19 වනදා ඔබව නිශ්චිතවම දැනුවත් කළා නම් ඔබ ගන්නා පියවර කුමක්ද?
හේමසිරි – ස්වාමීනී මට එදින නිශ්චිතවම කිව්වේ නැහැ. ඒ වෙලාවේ කිව්වා නම් සර් මේක ලෙඩක් කියලා ඔක්කොම වැඩ අතහැරලා මම මේ වැඬේට පනිනවා. කොහොම හරි ජනාධිපතිට කතා කරනවා. සර් මේක අගමැතිතුමාට කියන්නද කියලා අහනව. එපා කියලා පිළිතුරු ලැබෙන බව දන්නවා. ඊට පස්සෙ මේක ආරක්ෂක රාජ්‍ය ඇමතිට කියන්නද අහනවා. ඒකටත් එපා කියන බව දන්නවා. එතකොට කරන්න පුළුවන් හොඳම දේ දන්නේ ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය. ඒ නිසා මම ඔවුන්ව දැනුවත් කරනවා.
සභාපති විනිසුරු – හරි එහෙනම් දැන් අප්‍රේල් 20 තොරතුර ලැබුණම හෙට හෝ ඊට පෙර ගහනව කියල ඔබ ඔය කිව්ව ක්‍රියා පිළිවෙත අනුගමනය නොකළේ ඇයි?
හේමසිරි – ස්වාමීනී ඒ වෙලාව වෙද්දී ප්‍රහාරයේ පරිමාව කොයිතරම් දුරට අඩුකරගන්න හැකියාවක් තිබ්බද කියන එක ප්‍රශ්නයක්. මොකද සහරාන් ඇතුළු පිරිස කොළඹට ඇතුළුවෙලා තිබ්බේ දින තුනකට කළින්. නමුත් අප්‍රේල් 20 හරි නිලන්ත මට නිර්දේශ කළා නම් ජනාධිපතිට කියන්න කියලා මම ඒක කරනවා.
සභාපති විනිසුරු – ඒකද ඇත්ත හේතුව? නැත්නම් අර විදෙස් මාධ්‍යවේදියට කියපු විදිහට ප්‍රහාරයක් වෙයි කියලා දැනං හිටියා මෙච්චර පරිමාණයක් වෙයි කියලා ඔබ දැනං හිටියේ නැහැ කියපු එකද?
එහිදී මද සිනහවක් පාමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා කියාසිටියේ තමන් මීට පෙරද ඒ පිළිබඳ ජනාධිපති කොමිසමට සාක්ෂි ලබාදුන් බවයි. ෆ්‍රෙෂ් පිට හිටියේ නැහැ කියන එකදැයි ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා පෙරළා විමසූ විට හේමසිරි ප්‍රනාන්දු මහතා මද සිනහවක් නඟමින් නිහඬව සිටියා.
මේ අතර හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා 06 වන දිනටත් අද දිනයේ කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා. 2017 වර්ෂයේ සිට සහරාන් හෂීම් ඇතුළු අනුගාමිකයන් අන්තවාදය පතුරුවන බව දැන සිටි ඔබට එය කොතනින් නවතීවිදැයි වැටහීමක් තිබුණේ
පූජිත් – වැටහුණා නමුත් ඒ අවස්ථාව වනවිට රටේ පැවති දේශපාලන වාතාවරණය, රාජ්‍ය ප්‍රතිපත්ති අනුව ප්‍රමුඛත්වය දුන් කරුණු සහ ඒ වනවිට මට පැනවී තිබුණු සීමාවන්ට අදාළව තමයි මම පොලිස්පතිවරයා ලෙස එම කරුණු සම්බන්ධයෙන් උපදෙස් දීම සිදු කළේ. මේ කරුණු සම්බන්ධයෙන් විමර්ශන කිරීමේ වගකීම තිබුණේ රාජ්‍ය බුද්ධි සේවයට. ඔවුන් මේ ගැන විෂයභාර ඇමතිවරයා දැනුවත් කළ යුතුව තිබුණා. මොකද මට පැවරී තිබුණු සීමාවන් එක්ක පැවති දේශපාලන වටපිටාව මත උපදෙස් දීමේ වගේම තීරණ ගැනීමේ බලය තිබුණේ රටේ ප්‍රධානියාට.