ඉන්දීය කලාපය සාම කලාපයක් විය යුතුයි – ජනපති කියයි
Related Articles
මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් තෝරා ගෙන ඇති ශ්‍රී ලංකාවේ ප්‍රථම ප්‍රමුඛතාව අනෙයෝන්ය ප්රතිලාභ සහිත සංවර්ධන සහයෝගිතාවට බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළා. විදෙස් තානාපතිවරුන් කිහිප දෙනෙකු අක්තපත්‍ර පිළිගැන්වූ අවස්ථාවේදී ජනාධිපතිතුමා මේ බව සදහන් කළේ.
ශ්‍රී ලංකාවට අළුතින් පත්ව ආ තානාපතිවරුන් සිව් දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත අක්තපත්‍ර භාරදීම අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවුණා. කොරියානු ජන රජය වෙනුවෙන් මෙරට තානාපතිවරයා ලෙස අක්තපත්‍ර භාර දුන්නේ ජොන්ග් චුන්ජින්ග් මහතායි. ජර්මන් ෆෙඩ්රල් ජන රජයේ ශ්‍රී ලංකා නව තානාපති ලෙස පත්ව සිටින හොල්ගර් ලොතර් සොයිබෙයට් මහතා ජනාධිපතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූවා.
ශුද්ධ වතිකානයේ අපෝස්තලික නන්සියෝ ලෙස පත්ව ආ මොන්සිඤ්ඤෝර් ධූරන්දර බ්‍රයන් උඩයිවේ හිමිපාණන් ද ජනාධිපතිතුමා වෙත අක්තපත්‍ර භාර දුන්නා. ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපති ලෙස පත්ව සිටින්නේ ඩොමිනික් ෆර්ග්ලර් මහතායි. අක්තපත්‍ර භාර දීමෙන් අනතුරුව තානාපතිවරුන් සමග සුහද කතා බහක නිරත වූ ජනාධිපතිතුමා ඉන්දීය සාගරය අරඹයා ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය පැහැදිලි කළා. එම සාගරය සියළු රටවලට විවෘත හා නිදහස් කලාපයක් වියයුතු බව පෙන්වා දුන් ජනාධිපතිතුමා ඉන්දීය සාගරය සාම කලාපයක් කළ යුතු බවට දශක පහකට පමණ පෙර ප්‍රථමයෙන් යෝජනා කළේ ශ්‍රී ලංකාව බවද මෙහිදී සිහිපත් කළා. ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු රජයේත් ජනතාවගේත් ප්රමුඛ අභිලාෂය වූයේ කඩිනම් සංවර්ධනයක් අත්කර ගැනීම බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වැඩිදුරටත් සදහන් කළේ. ත්‍රස්තවාදයෙන් ආර්ථිකය පරිහානියට පත්වුණා. ඉක්මන් සංවර්ධනයක් සදහා විදේශ ආධාර අවශ්‍ය වූ අතර මෙරට සංවර්ධන ව්‍යාපෘතිවල ආයෝජන සදහා චීනය ඉදිරියට පැමිණියා. දෙරට අතර සිදුවූයේ ගණුදෙනුවක්. එහෙත් ඇතැම් පිරිස් මෙම සබදතාව විග්රහ කළේ චීනයට පක්ෂපාතී වීමක් ලෙස බව සදහන් කළ ජනාධිපතිතුමා ශ්‍රී ලංකාව සෑම රටක් සමගම මිතුරු බව ද මෙහිදී පැහැදිලි කළා.
හම්බන්තොට වරාය ඉදිකිරීම ණය උගුලක සිරවීමක් ලෙස ඇතැම් පාර්ශව හැදින්වුව ද එම වරාය විශාල සංවර්ධන විභවතාවක් සහිත ව්‍යාපෘතියක් බවද ජනාධිපතිතුමා විදෙස් තානාපතිවරුන් හමුවේ පෙන්වා දුන්නා. පසුගිය රජය හම්බන්තොට වරාය චීනයට බදුදුන් නමුත් එය භාවිත කරන්නේ වාණිජ අරමුණු සදහා පමණක් බවද ජනාධිපතිතුමා තව දුරටත් ප්‍රකාශ කළා. මෙහිදී නව තානාපතිවරුන් සදහන් කළේ ශ්‍රී ලංකාවේ සංවර්ධනයට උපරිම දායකත්වය ලබා දීමට කටයුතු කරන බවයි. කොවිඩ් 19 වසංගතය සාර්ථක ලෙස පාලනය කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට හා රජයට ප්‍රසාදය පළ කරන බවද ඔවුන් මෙහිදී සදහන් කළා. ජනාධිපතිතුමාට ලැබී ඇති විශාල ජන වරම පිළිබද පාප් වහන්සේගේ සුභ පැතුම් එක්කළ බ්‍රයන් උඩයිවේ හිමිපාණන් භූගෝලීය පිහිටීම ශ්‍රී ලංකාවට හිමිව ඇති අනගි දායදයක් බවද සදහන් කළා.