fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සහරාන් ගැන විජේදාස කිව්ව දේ ඇහුවා නම් ජීවිතත් බේරිලා – ආණ්ඩුවත් බේරිලා – UNPයත් ඉතුරු වෙලා

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 29, 2020 19:03

අයි එස් සංවිධානය ගැන තමන් පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය පිලිබද පැවති රජය අවාධනය යොමු කළේ නම් පාස්කු ප්‍රහාරය මෙන්ම ආණ්ඩු බලය අහිමිවීම හා එක්සත් ජාතික පක්ෂයේ විනාශය ද වළක්වාගත හැකිව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා.

පාස්කු ප්‍රහාරය පිලිබද සොයා බලන ජනාධිපති කොමිසම හමුවේයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. මේ අතර සහරාන් හෂීම් පිටුපස ශක්තිමත් මෙහෙයුම් බලවේගයක් තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පවසනවා. විජේදාස රාජපක්ෂ මහතා ජනාධිපති කොමිසම හමුවේ සිදු කළ සාක්ෂි විමසීමක් සම්බන්ධයෙන් හරස් ප්‍රශ්න ඇසීමට මුජිබුර් රහුමාන් මහතා ඉල්ලා තිබුණා. ඒ අනුව ඔවුන් දෙදෙනා කොමිසම හමුවට ඊයේ කැදවා තිබුණා. පාස්කු ප්‍රහාරයට මාස ගණනාවකට පෙර තමන් පාර්ලිමේන්තුවේදී කළ කතාව පිළිබඳ අවධානය යොමු කළේ නම් මෙම මිනිස් ඝාතනය වළක්වාගැනීමට තිබුනා නොවේදැයි විජේදාස රාජපක්ෂ මහතා රහුමාන් මහතාගෙන් ප්‍රශ්න කළා. එහිදී රහුමාන් මන්ත්‍රීවරයා කියා සිටියේ දිගන සිදුවීමෙන් පසු තමන්ද සහරාන් ගැන පොලීසියට පැමිණිලි කළ බවයි. ඒ අනුව වැඩ තහනමට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා, සහරාන් ඇල්ලීමට වරෙන්තුවක්ද ලබාගෙන තිබුණා.

අවසානයේ නාමල් කුමාර කෙනෙක්ව දාලා සහරාන් අල්ලන්න ගිය නාලක සිල්වා හිරේ දැම්මා. ඒකයි මම කියන්නේ අදෘෂ්‍යමාන බලවේගයක් සහරාන් බේරගන්න වැඩ කළා යැයි මුජිබුර් රහුමාන් මන්ත්‍රීවරයා පැවසුවා. මේ රටේ මුස්ලිම් ජනතාවට බෝම්බ පුපුරවන්න තරම් ප්‍රශ්න තිබුණේ නැහැ. සහරාන් මේක කළේ මුස්ලිම් ජනතාව වෙනුවෙන් නෙමෙයි. මෙකෙන් මුස්ලිම් ජනතාවට වුණ සෙතක් නැහැ. කොළඹ ජාතික පාසලකට ගිය තම දරුවාගේ පාසල මාරු කිරීමට පවා සිදුවූ බව කී රහුමාන් මහතා ඒකයි මම කියන්නේ මේ වැඩේ සහරාන් කළේ මුස්ලිම් ජනතාව වෙනුවෙන් නොව වෙන කාගෙ හරි උවමනාවකට බව. මම ඒ කවුද කියලයි සොයන්නේ. යනුවෙන්ද පැවසුවා.

අගරදගුරුතුමා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ ෂමිල් පෙරේරා මහතා ප්‍රශ්නකර සිටියේ මෙම ප්‍රහාරය පිළිබඳ ඔබගේ ආරක්‍ෂකයින් පෙර දැනුවත්ව සිටියේ ද යන්නයි. එහිදී රහුමාන් මන්ත්‍රීවරයා පැවසුවේ ඔවුන් දැනුවත්ව සිටියද ප්‍රහාරයට පෙර තමන් ඒ පිළිබඳ දැනුවත් නොකළ බවයි. පැවති ආණ්ඩුවේ ජාතික ආරක්‍ෂක කවුන්සිලය හා බුද්ධි සම්බන්ධීකරණ රැස්වීම්වලදී සහරාන් පිළිබඳ කරුණු ඉදිරිපත්කර තිබුණා නම් ඒ පිළිබඳ ආණ්ඩුවේ මුස්ලිම් මන්ත්‍රීවරුන් දැනුවත් කළේ ද යන්න සභාපති විනිසුරුවරයා ප්‍රශ්න කළා. ඊට රහුමාන් මන්ත්‍රීවරයාගේ පිළිතුර වූයේ නැත යන්නයි. එහිදී කොමිසම ප්‍රශ්න කළේ ඔබ කියන්නේ 2015 – 2019 ආණ්ඩුව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුතුයි කියන එක නේද? ඊට මන්ත්‍රීවරයා ඔව් යැයි පිළිතුරු දුන්නා. ප්‍රහාරයේ සැකකාරියක වන ඉන්දියාවට පළාගොස් ඇති සාරා නමැති කාන්තාව ගෙන්වා ගතහොත් ප්‍රහාරය පිළිබඳ සියලු තොරතුරු සොයාගත හැකි බවද රහුමාන් මහතා පැවසුවා.

කොම්පඤ්ඤවීදියේ ඉස්ලාම් පල්ලියක පිහි සඟවාගෙන තිබියදී හමුවූ නුර්දීන් මොහොමඞ් හඳුනනවාදැයි කොමිසම ප්‍රශ්න කළා. එක්සත් ජාතික පක්‍ෂ කොළඹ නාගරික මන්ත්‍රීවරයෙකු වන ඔහු වසර දහයක සිට හඳුනන බවයි මන්ත්‍රීවරයා පැවසුවේ. විජේදාස රාජපක්‍ෂ මහතාගෙන් රහුමාන් මහතා ප්‍රශ්න කළේ අන්තවාදයට සම්බන්ධ අයගේ නම් අතරට තමාගේ නම ද ප්‍රකාශ කළේ කුමන පදනමකින් ද යන්නයි. ඊට පිළිතුරු දුන් රාජපක්‍ෂ මහතා පැවසුවේ තමන් හිස්බුල්ලා, අසාද් සාලි වැනි කිහිප දෙනෙකුගේම නම් ප්‍රකාශ කළ බවයි. 2016 නොවැම්බර් 18 වනදා තමන් පාර්ලිමේන්තුවේ දී වගකීම්සහගතව කළ ප්‍රකාශය රාජිත සේනාරත්න සහ මුජිබුර් රහුමාන් අභියෝගයට ලක්කළා. මෙවැනි වගකීම්සහගත ප්‍රකාශයක් අභියෝගයට ලක්කරනවා කියන්නේම ත්‍රස්තවාදයට අනුබලදීමක්. එවැනි හෙළිදරව් කිරීම් අභියෝගයට ලක්කිරීම තුළමයි මෙවැනි දැවැන්ත මිනිස් ජීවිත හානියක් වුණේ යැයිද විජේදාස රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 29, 2020 19:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්