වතු ජනතාවට නිවාස ලබා දීමේදී ලයිම ආශ්‍රිතවම එම නිවාස ඉදිකිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා හා අගමැතිතුමා පෙන්වා දෙනවා. වතු ආශ්රිත සෞඛ්‍ය මධ්‍යස්ථාන රජයට පවරාගෙන ගුණාත්මක සේවාවක් ලබා දීම ද සැලසුමයි.
වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් පිළිබද රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබද සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. වතු නිවාස හාර දහසක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ නිවාස 469 ක ඉදිකිරීම් අවසන් කර තිබෙනවා. යටිතල පහසුකම් සැපයීමේදී ඇති ප්‍රායෝගික ගැටලු ඉදිකිරීම් ප්‍රමාදයට හේතු වූ බවයි නිලධාරීන් මෙහිදී පැවසුවේ.
වතු ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීමට රජය ගෙන යන වැඩපිළිවෙළට සමගාමීව පෞද්ගලික වතු සමාගම් ද සිය යුතුකම් හා වගකීම් ඉටු කළ යුතු බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය, සෞඛ්‍ය, අධ්‍යාපන, කෘෂිකර්ම, නිවාස, ක්‍රීඩා ඇතුලු අමාත්‍යාංශවල සහාය ලබා ගනිමින් වතු ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා අවධාරණය කළා.
පෙර පාසල්, ප්‍රාථමික විද්‍යාල, සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් වෛද්‍ය මධ්‍යස්ථාන සංවර්ධනය කළ යුතු බවයි ජනාධිපතිතුමා තවදුරටත් ප්‍රකාශ කළේ. වතු ආශ්රිත තරුණ තරුණියන්ට වෘත්තීය පුහුණුව දී රැකියාවලට යොමු කිරීමේ වැදගත්කම ද සාකච්ඡා කෙරුණා. වතු ආශ්‍රිතව 438 ක් වන සෞඛ්‍ය මධ්‍යස්ථාන රජයට පවරාගෙන ගුණාත්මක සේවාවක් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව ද ජනාධිපතිතුමා අවධාරණය කළා.
බණ්ඩාරවෙල, හැටන්, නුවරඑළිය හා ඇල්ල කේන්ද්‍ර කර ගනිමින් සංචාරක ක්ෂේත්රයේ ප්‍රවර්ධනයට ගෙන ඇති සැලසුම් කෙරෙහි ද සාකච්ඡාවට ලක් කෙරුණා. වත්ත හා ගම වෙන් නොවන සේ සියලු සංවර්ධන කටයුතු සිදුවිය යුතු බවයි ජනාධිපතිතුමා අවධාරණය කළේ. රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ඇතුලු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියා.