fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බූවැලිකඩ පස්මහල් ගොඩනැගිල්ලේ හිමිකරු රිමාන්ඩ්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 29, 2020 17:53

අත්අඩංගුවට ගත් මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ කඩාවැටීමට ලක්වූ පස්මහල් ගොඩනැගිල්ලේ හිමිකරු අනුර ලෙව්කේ ලබන මස 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට සැකකරු අද (29) ඉදිරිපත් කළ අවස්ථාවේයි මෙම නියෝගය නිකුත් කෙරුණේ.

මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේ පස්මහල් ගොඩනැගිල්ල කඩාවැටීම හේතුවෙන් යුවලකට සහ මාස එකහමාරක බිළිදියකට දිවි අහිමි වුණා. පස්මහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් අංශ රැසකින් චෝදනා එල්ලවූ අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ද සිදුකෙරුණා. එවැනි පසුබිමක් හමුවේ පස් මහල්ගොඩනගිල්‌ෙල් හිමිකරු අත්අඩංගුවට ගැනීමට මහනුවර පොලිස් අපරාධ විමර්ශන අංශය කටයුතු කළා. නොසැලකිලිමත් ඉදිකිරීමක් හේතුවෙන් තුන්දෙනෙකුට ජීවිත අහිමි කිරීම සහ නිවාස කිහිපයකට අලාභහානි සිදුකිරීම යන චෝදනා යටතේ පොලීසිය සැකකරුට එරෙහිව නඩු පවරා තිබෙනවා.

මහල් තුනක් ඉදිකිරීම සදහා පමණක් අනුමැතිය ලබාදී තිබියදීත් මහල් පහක් ඉදිකර ඇති බවත් එහි අත්තිවාරම මහල් පහක් සදහා සුදුසු නොවන බවත් පරීක්ෂණවලින් තහවුරු වූ බව මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා පවසනවා. සැකකරුට එරෙහිව නඩු පැවරීමට පෙර මහනුවර පොලීසිය,  මහනගර සභාව,  නාගරික සංවර්ධන අධිකාරිය,  ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය,  භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය ඇතුළු ආයතන ගණනාවකින් මේ සම්බන්ධ වාර්තා ලබාගෙන තිබෙනවා.

සැකකරු මහනුවර අතිරේක මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණා.

අනුර ලෙව්කේ වෙනුවෙන් එක් නීතිඥයකු පමණක් පෙනී සිටියදී අනතුරෙන් දිවි අහිමි වූ යුවල සහ බිලිදිය වෙනුවෙන් නීතිඥවරුන් 101 දෙනෙකු පෙනී සිටීමද විශේෂත්වයක් වනවා.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 29, 2020 17:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්