fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 29, 2020 12:44

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ භූ විද්‍යාත්මක අස්ථාවරත්වයක් හේතුවෙන් අධි අවදානම් බවට වාර්තා වී ඇති නිවාසවල පදිංචි පවුල් සඳහා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම
– පොළොව අභ්‍යන්තරයේ භූ විද්‍යාත්මක අස්ථාවරත්වයක් හේතුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරි වසම් 06ක නිවාස 223ක බිත්ති අසාමාන්‍ය ලෙස පුපුරා ඇති අතර එම නිවාස කඩා වැටීමේ අවදානම් තත්ත්වයක් මතු වී තිබේ. එකී නිවාස අතුරින් දැඩි ලෙස හානි සිදු වී ඇති, පදිංචියට නුසුදුසු බවට හඳුනාගෙන තිබෙන නිවාස 67ක පදිංචි පවුල් කඩිනමින් ඉවත් කර ඔවුන් සුදුසු ස්ථානයක පදිංචි කළ යුතුව ඇත.

මීට පෙර නායයෑම් අධි අවදානම් කලාපවල ජීවත් වන පවුල් සඳහා ස්ථිර නිවාස ඉදි කිරීම පිණිස වන ක්‍රමවේදයකට 2017 ජුනි මස 27 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇති අතර, ඒ අනුව මෙම පවුල් සම්බන්ධයෙන් ද අවශ්‍ය පියවර ගැනීමට අදාළව වාරිමාර්ග අමාත්‍ය සහ අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගෙන පහත සඳහන් පරිදි පියවර ගැනීම අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* එම අධි අවදානම් ලෙස හඳුනාගෙන ඇති නිවාසවල පදිංචි පවුල් එම නිවාසවලින් ඉවත් කර වෙනත් ආරක්ෂිත ස්ථානයක තාවකාලිකව පදිංචි කරවීම.

* එලෙස පදිංචි කරන එක් පවුලකට මසකට රුපියල් 10,000.00ක උපරිමයකට යටත්ව මාස 06ක කාලයක් දක්වා නිවාස කුලී දීමනාවක් ලබා දීම.

* නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය විසින් අවශ්‍ය යටිතල පහසුකම් සහිත නිවාස යෝජනා ක්‍රමයක් කඩිනමින් ක්‍රියාත්මක කර ඉවත් කළ යුතු පවුල් සඳහා එම නිවාස යෝජනා ක්‍රමයෙන් නිවාස ලබා දීම.

* කෙටි කාලසීමාවක් තුළදී යෝජිත නිවාස යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අපහසු වන්නේ නම් 2017 ජුනි මස 27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි නායයෑමේ අධි අවදානම් හේතුවෙන් තම පදිංචි ස්ථානයන්ගෙන් ඉවත් කරන පවුල් නැවත පදිංචි කරවීමේ වැඩසටහන යටතේ ලබා දෙනු ලබන පහත සඳහන් සහනයන් හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආපදා තත්ත්වය හේතුවෙන් පදිංචි ස්ථානයෙන් ඉවත් කරනු ලබන පවුල් සඳහා ලබා දීම:

i ඉඩමක් සමඟ නිවසක් මිලදී ගැනීමට රුපියල් මිලියන 1.6ක් ලබා දීම.

ii ඉඩමක් මිලදී ගෙන නිවස ඉදි කිරීම සඳහා ඉඩම සඳහා රුපියල් මිලියන 0.4ක් සහ නිවස ඉදි කිරීමට රුපියල් මිලියන 1.2ක් ලබා දීම.

iii රජයේ ඉඩම් ලබා දී ඇත්නම් එම ඉඩමෙහි නිවස ඉදි කිරීම සඳහා රුපියල් මිලියන 1.2ක් ලබා දීම

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 29, 2020 12:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්