පොලිස් කොමිසම පිහිටුවීම මගින් පොලිස්පතිවරයාගේ බලතල සීමා වී ඇති බව වැඩබලන පොලිස්පති සී ඩී වීක්රමරත්න මහතා පවසනවා. පොලිස් කොමිසම මගින් පොලිස්පතිවරයා දුර්වල කර ඇති බව ද ඔහු සදහන් කරනවා.
වැඩබලන පොලිස්පතිවරයා මේ බව සදහන් කළේ දේශපාලන පළිගැනීම් පිළිබද සොයා බලන ජනාධිපති පරික්ෂණ කොමිසන් සභාව හමුවේයි. වැඩතහනටම ලක්ව සිටින ජ්‍යෙෂ්ඨ්‍ය නියෝජ්‍ය පොලිස්පති ලලිත් අනුරුද්ධ ජයසිංහ මහතා යළි සේවයේ පිහිටුවීමට ඇති බාධා පිළිබද විමසීමටයි සී ඩී වික්‍රමරත්න මහතා කැදවා තිබුණේ. ජයසිංහ මහතා සේවයේ පිහිටුවීමට තමන් නිර්දේශ කළද පොලිස් කොමිසම එය ප්‍රතික්ෂේප කළ බව වැඩබලන පොලිස්පතිවරයා සදහන් කළා.
ලලිත් අනුරුද්ධ ජයසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මහේෂ් කොටුවැල්ල මහතා කියා සිටියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතා එක්සත් ජාතික පක්ෂයෙන් මහමැතිවරණය තරග කර එම පක්ෂයේ මහර සංවිධායක ලෙස කටයුතු කර සේවයට වාර්තා නොකර දේශපාලනයේ නිරත වුවද ඔහු යළි සේවයේ පිහිටුවා එදිනම විශ්‍රාම ගැන්වීමට නිර්දේශ කර ඇති බවයි. තමා එලෙස නිර්දේශ කළ බව වැඩබලන පොලිස්පතිවරයා එහිදී පිළිගත්තා. ප්‍රිශාන්ත ජයකොඩි මහතා විශ්‍රාම නොගෙන තවදුරටත් සේවයේ නිරතවීම පිළිබදව කොමිසමේ අවධානය යොමුවුණා. එහිදී සී ඩී වික්‍රමරත්න මහතා පැවසුවේ ජයකොඩි මහතා පොලිස් සේවයට සුදුසු නොමැති බව තමා පිළිගන්නා බවත් ඔහු සේවයෙන් ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය දැනුවත් කර ඇති බවයි.
පොලිස් කොමිසම පිහිටුවීම මගින් කර ඇත්තේ පොලිස්පතිවරයා ශක්තිමත් කිරීමක්ද? දුර්වල කිරීමක්ද යන්න පිළිබද කොමිසම විමසූ අවස්ථාවේ වික්‍රමරත්න මහතා තවදුරටත් කියා සිටියේ පොලිස්පතිවරයාට තීරණ ගැනීමේ නිදහස පොලිස් කොමිසම නිසා ඇතැම් විට අහිමිවී ඇති බවයි. ඇතැම් තීරණවලදී පොලිස්පතිවරයාගේ නිර්දේශවලට ඉහළින් කොමිසම ක්‍රියා කරන බැවින් කරුණු දැක්වීමට සිදුවන බව ද ඔහු සදහන් කළා.