fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බූවැලිකඩ ගිලාබැසීමේ සිද්ධියේ අවසන් වාර්තාව මේ සතිය තුළදී

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2020 19:16

මහනුවර බූවැලිකඩ පස්මහල් ගොඩනැගිල්ල ගිලාබැසීමේ සිද්ධියේ අවසන් වාර්තාව මේ සතිය තුළ ලබා දෙන බව පොලීසිය පවසනවා. අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූවන්ගේ දේහය පිළිබද අවසන් කටයුතු මහයියාව පොදු සුසාන භූමියේදී හෙට සිදුකෙරෙනවා.

මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පිහිටි පස් මහල් ගොඩනැගිල්ලක් ඊට පහළින් තිබූ තවත් නිවසකට හා හෝටලයකට කඩා වැටීමෙන් අනතුරක් සිදු වුණේ ඉකුත් 20 වනදායි. එහිදී මාස එකහමාරක් පමණ වයසැති බිළිදියක් සහ ඇයගේ දෙමව්පියන් වන චමිල ප්‍රසාද් සහ අචලා ඒකනායක යන අය ජීවිතක්ෂයට පත්වුණා. ඔවුන්ගේ දේහයන් පිලිබද පශ්චාත් මරණ පරික්ෂණය ඊයේ මහනුවර ජාතික රෝහලේදී සිදු වූ අතර දේහයන් මේ වන විට බූවැලිකඩ ප්‍රදේශයේ අසල්වාසී නිවසක තැන්පත් කර තිබෙනවා. දේහයන් පිලිබද අවසන් කටයුතු හෙට පස්වරුවේ මහනුවර මහයියාව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පල කළ අභාවප්‍රාප්ත  අචලා ඒකනායක‍ මහත්මියගේ පියා වන සිසිර බණ්ඩාර මහතා සදහන් කළේ මෙම මරණ සදහා වගකිව යුතු පුද්ගලයන් සම්බන්ධයෙන්  විධිමත් නීතිමය පියවර ගත යුතු බවයි.

කඩා වැටුන නිවස පෞද්ගලික සමාගමක් හරහා කොන්ත්‍රාත් පදනම මත ඉදිකර ඇති අතර එම සමාගම නිසි ප්‍රමිතියකට අනුකූලව ගොඩනැගිල්ල ඉදිකර තිබේද යන්න පිලිබදව මේ වන විට පරික්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා. එමෙන්ම අවිධිමත්ව ගොඩනැගිල්ල ඉදිකර ඇත්නම් එම පෞද්ගලික සමාගමට එරෙහිවද නීතිමය පියවර ගන්නා බවද පොලීසි සදහන් කළා. කඩා වැටුන නිවසට අදාළ සැලැස්ම, මුල්ලේඛණ  සහ ගොඩනැගිල්ල ඉදිකිරීමට අනුමත කළ සහතික මේ වන විට අධ්‍යනය කරමින් පවතින බවත් අධ්‍යයනයෙන් පසු අවසන් වාර්තාව මෙම සතිය ඇතුළත ලබාදීමට කටයුතු කරන බව මහනුවර කොට්ඨාස හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා අප කළ විමසීමකදී ප්‍රකාශය කළා.කඩා වැටුන නිවස අයත්ව තිබුණේ හිටපු බස්නායක නිලමේවරයකු වූ අනුර ලෙව්කේ මහතාටයි. ඇතැම් පිරිස් අනුමැතියකින් තොරව නිවස ඉදිකළ බවට සහ සිද්ධිය නොදන්වා පලා ගිය බවට නිවෙස් හිමියන්ට චෝදනා කළ ද ඔවුන් විසින් එම චෝදනා මේ වන විට ප්‍රතික්ෂේප කර තිබෙනවා. කෙසේ වෙතත් පරික්ෂණ කටයුවලින් අනතුරුව මෙම ගොඩනැගිල්ල අවිධිමත් ගොඩනැගිල්ලක් ලෙස සනාත වුවහොත් නිවසේ හිමිකරුට විරුද්ධව නඩුවක් ගොණු කිරීමට කටයුතු කරන බවද පොලීසිය පවසනවා.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2020 19:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්