සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට නොහැකිවීම පිළිබඳ දේශපාලන බලපෑම් පැවති බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පවසනවා. පාස්කු ප්‍රහාරය පිළිබද සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දෙමිනුයි ඒ මහතා මේ බව කියාසිටියේ.
නැගෙනහිර පළාතේ දේශපාලනඥයන් හැසුරුණු ආකාරය හේතුවෙන් පොලීසිය කටයුතු කිරීමේ දී විවිධ බාධා එල්ල වූ බව ද හිටපු ආරකෂක ලේකම්වරයා පෙන්වා දුන්නා. නැගෙනහිර පළාත තුළ අරාබිකරණය වැඩි වීමත් සමඟ විදේශයන් හි සිට මෙරටට පුහුණුව ලබා පැමිණෙන පුද්ගලයන්ගෙන් රටේ සංහිඳියාවට බාධාවක් ඇති බවට වැටහීමක් පැවති බව සාකෂිකරු මෙහිදී ප්‍රකාශ කළා. ඉස්ලාම් අන්තවාදී සංවිධානවලින් පුහුණුව ලබා පැමිණෙන පුද්ගලයන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට අවශ්‍ය නෛතික රාමුව ප්‍රමාණවත් වුව ද ඒ සඳහා දේශපාලනික ප්‍රශ්න පැවති බව හේමසිරි ප්‍රනාන්දු මහතා කොමිසම හමුවේ සඳහන් කළා.
රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය එම ප්‍රශ්න මොනවා දැයි කළ විමසීමකට අනුව සාකෂිකරු සඳහන් කළේ ජනාධිපතිතුමා සමඟ තමන් පෞද්ගලිකව ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර ඇතැම් පුද්ගලයන් වීසා ලබාගෙන මෙරටට පැමිණ තිබූ බවයි. ජනාධිපතිවරයාගෙන් ඒ සම්බන්ධයෙන් ලැබුණු ප්‍රතිචාරය කුමක් ද යන්න පිළිබඳ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කළා. මුස්ලිම් දේශපාලනඥයන් තරහා කර ගන්න බැහැ. ඕක හෙමිහිට බලමු කියලා හිටපු ජනාධිපතිවරයා පැවසූ බව ද සාකෂිකරු සඳහන් කළා. ජනාධිපතිතුමා හා තමා අතර විරසකයක් පැවති බව ද හිටපු ආරකෂක ලේකම්වරයා ප්‍රකාශ කළා. ඒ හේතුවෙන් තමන් ධුරයෙන් ඉවත් වීමටද සූදානමින් සිටි බව ද ඔහු පැවසුවා. විරසකයට හේතුව කුමක් ද යන්න කොමිසම විමසා සිටි අතර සාකෂිකරු සඳහන් කළේ දේශපාලනඥයන් 5 දෙනෙකු තමන් සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ජනාධිපතිවරයාට පවසා තිබූ බවයි.
අන්තවාදී පුහුණුව ලබා එන්නන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට ඇති නෛතික රාමුව සම්බන්ධයෙන් නැවත ප්‍රශ්න කිරීම් සිදු වූ අතර හිටපු ආරකෂක ලේකම්වරයා සඳහන් කළේ එවැනි තැනැත්තන් අත්අඩංගුවට ගැනීම කෙසේ වෙතත් ප්‍රශ්න කිරීමට හැකි බවයි.
පාස්කු ප්‍රහාරයේ වගකීම භාර ගැනීමට තමන් සූදානම් නොමැති බව සඳහන් කළ සාකෂිකරු ප්‍රහාරයක් එල්ල කරන බවට අදාළ අංශ තමන් දැනුවත් නොකළ බව ද පැවසුවා.