පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වනතුරුම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාව ආරක්ෂක කවුන්සිලයට නොකැදවූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාගේ ස්ථාන මාරුවක් සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් මත බව ජනාධිපති කොමිසමේදී ඊයේ අනාවරණය වුණා.
පාස්කු ප්‍රහාරය පිළිබද කරුණු විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ දෙවන දිනටත් සාක්ෂි ලබා දුන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා කියා සිටියේ ජනාධිපතිවරයා නිශාන්ත සිල්වාට ස්ථාන මාරුවක් ලබා දෙන ලෙස නියෝග කර, පොලිස්පතිවරයා ඔහුට ස්ථාන මාරුවක් ලබාදීමෙන් පසු කවුද ස්ථාන මාරු කරන්න කිව්වේ යනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විමසා සිටි බවයි.
අප්‍රේල් 04 වනදා විදෙස් බුද්ධි අංශයකින් ලද තොරතුරු අප්‍රේල් 09 වනදා පැවති බුද්ධි සමාලෝචන රැස්වීමේදී සාකච්ඡාවට බඳුන් කළේ දැයි මෙහිදී රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් විමසා සිටියා. එම තොරතුරු සාකච්ඡාවට ගැනීමේ වගකීම තිබ්බේ නිලන්තට. මොකද ඒක නිලන්තට ලැබී තිබුණු තොරතුරක්. පසුගිය අප්‍රේල් 08 කියන්නේ මෙරට ආරක්ෂක අංශයට විශේෂ දවසක්. ඒ වෙනකොට ඉන්දීය ආරක්ෂක ලේකම්වරයා මෙරටට පැමිණ තිබුණා. ආරක්ෂක අමාත්‍යාංශයේ සැවොම කාර්යබහුල වෙලා හිටියේ. එවැනි අවස්ථාවක තමයි ජාතික බුද්ධි ප්‍රධානියා එදින සවස මාව මුණගැහෙන්න ඇවිත් මේ තොරතුර ගැන කිව්වේ. මම ඒ තොරතුරු හොඳින් බලලා මේක ඉතා වැදගත් හෙට රැස්වීමේදී නිලන්තට මේක සාකච්ඡාවට ගන්න කියලා කියන්න යනුවෙන් බුද්ධි ප්‍රධානියාට උපදෙස් දුන්නා. ඊ ළඟ දවසේ රැස්වීමේ නිලන්තගේ අවස්ථාවේදී සහරාන් අන්තවාදී දේශන පවත්වනවා. අන්තවාදී ප්‍රචණ්ඩත්වයට යමින් සිටිනවා කියල නිලන්ත කිව්වා. හැබැයි ත්‍රස්තවාදියෙක් කියලා කිව්වේ නෑ. ඒ වගේමයි නිලන්තගේ අවස්ථාවේ දී ඔහු හතරවෙනිදා ලැබී තිබුණු තොරතුර ගැන කිසිදු සටහනක් කළේ නැහැ.
රැස්වීමේ අවසන් භාගය වන විට සිසිර මෙන්ඩිස් මට එයා අතේ තිබ්බ හතරවෙනිදා ලැබුණු තොරතුරු පෙන්නුවා. මම නිලන්තගෙන් ඇහුවා අර තොරතුරට මොකද කළේ කියලා. සර්, මම පොලිස්පතිට කියලා තියෙන්නේ. තවත් වාර්තාවක් සකස් කරමින් ඉන්නේ. සම්පූර්ණ කරලා එවන්නම් කියලා නිලන්ත මට උත්තර දුන්නා. මම ඒකෙන් සෑහීමට පත් වුණා යනුවෙන් හේමසිරි ප්‍රනාන්දු මහතා ඊට පිළිතුරු දෙමින් සඳහන් කළා. කොමිසම හමුවේ තවදුරටත් සාක්ෂි දෙමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා 2019 මාර්තු වෙද්දී යුද හමුදාපති මහේෂ් සේනානායක මට කිහිප වරක්ම කියලා තිබ්බා රාජ්‍ය බුද්ධි සේවය තොරතුරු බෙදා ගන්නේ නැහැ. අපිව බයිපාස් කරලා ඔක්කෝම කරන්නේ කියලා. මම ඔහුට කිව්වා ජනාධිපති එක්ක කතා කරලා පිළිතුරක් ලබා දෙන්නම් කියලා යනුවෙන් ඔහු තවදුරටත් ප්‍රකාශ කළා. ඔබ ප්රශ්නය ගැන ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළා දැයි කොමිසම මෙහිදී විමසා සිටියා. නැහැ, මට ජනාධිපති සමඟ කතා කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. බාහිර පාර්ශ්වය මාත් ජනාධිපතිතුමාත් අතර අර්බුදයක් නිර්මාණය කරලයි තිබ්බේ. ඒ හින්දා ජනාධිපතිවරයා මාත් එක්ක කතාකරන්න කැමති වුණේ නැහැ යනුවෙන් හේමසිරි ප්‍රනාන්දු මහතා ඊට පිළිතුරු ලබා දුන්නා. මම ආරක්ෂක ලේකම්වරයා ලෙසට සහභාගී වූ පළමු ජාතික ආරක්ෂක කවුන්සලයට පමණයි පොලිස්පති පූජිත් ජයසුන්දර සහභාගී වුණේ.
ඉන්පසු රැස්වීම්වලට පූජිත් ජයසුන්දර ගෙන්වන්න එපා යැයි ජනාධිපතිවරයා මට උපදෙස් ලබා දි තිබුණා. 2018 වසරේ ඔක්තෝබර් මාසයේ ඇති වූ ව්‍යවස්ථාදායක ආරවුලෙන් පස්සේ අගමැති රනිල් වික්‍රමසිංහ හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන යන දෙදෙනාම ජාතික ආරක්ෂක කවුන්සිලයට කැඳවූයේ නැහැ. ඔක්තෝම්බර් ආණ්ඩු පෙරළියෙන් පස්සේ මම ජනාධිපතිතුමාගෙන් ඇහුවා සර්, අලුත් අගමැති මහින්ද රාජපක්ෂ මහත්තයාට ආරක්ෂක කවුන්සිලයට එන්න කියන්නද කියලා. නැහැ, ඕන නැහැ, පස්සේ කියමු යනුවෙන් ජනාධිපතිවරයා මට පිළිතුරු ලබා දුන්නා. දින 52 ආණ්ඩුව පැවති කාලවකවානුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතාට කිසිම අවස්ථාවක ආරක්ෂක කවුන්සිලට සහභාගී වෙන්න කියලා ආරාධනා කළේ නැහැ යනුවෙන් හේමසිරි ප්‍රනාන්දු මහතා තවදුරටත් කොමිසම හමුවේ කියා සිටියා.
එහිදී ආරක්ෂක නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසා සිටියේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකයන් නොවූ, විශේෂ ආරාධනයක්ද නොලැබූ, පුද්ගලයන් ඒ සඳහා සහභාගී වූයේද යන්නයි.
දවසක් ජනාධිපතිතුමාගේ පසුපසින් සිව් දෙනෙක් ආරක්ෂක කවුන්සිලයට එනවා දැකලා පුදුම වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න, මහින්ද අමරවීර සහ තිලංග සුමතිපාල යන මහත්වරුන් එසේ පැමිණියා. ඔවුන්ට ජාතික ආරක්ෂක කවුන්සලයට සහභාගී වෙන්න කියලා ආරාධනා කරලා තිබුණේ නැහැ. දින 52 ආණ්ඩුවෙන් පස්සේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පත් වුණාම මම ජනාධිපතිතුමා හම්බෙන්න ගිහිල්ලා කිව්වා සර්. 2002 දී චන්ද්‍රිකා මැඩම් ජනාධිපති වුණාමත් ආරක්ෂක කවුන්සිලයට රනිල් වික්‍රමසිංහ මහත්තයා ආවා කියලා. නැහැ, නැහැ, ඒකට කමක් නැහැ. මම මේකට ගෙන්නන්නේ නැහැ කියලා ජනාධිපතිතුමා මට කිව්වා යනුවෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයා තවදුරටත් ප්‍රකාශ කළා. රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය සාක්ෂිකරුගෙන් විමසා සිටියේ පොලිස්පති පූජිත් ජයසුන්දර ආරක්ෂක කවුන්සිලයට නොගෙන්වීමට තුඩු දුන් හේතුව කුමක්ද යන්නයි. ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමකදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුට විරුද්ධව පැමිණිල්ලක් කළා. යම් නිලධාරියෙක් තමන්ව අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගන්න උත්සාහ කරනවා කියලා. ජනාධිපතිතුමා ඒ වෙලාවේ පොලිස්පතිට කිව්වා නිශාන්ත සිල්වා ඉවත් කරන්න කියලා. ජනාධිපතිතුමා කිව්වා දෙයක් වෙන්නම ඕනේ නිසා පොලිස්පතිවරයා නිශාන්ත සිල්වාව මීගමුවට මාරු කළා. සිදු විය යුතු ක්රියාපටිපටියට අනුව එය පොලිස් කොමිසමටත් දැනුම් දීලා තිබුණා. දවස් තුනකට පස්සේ ජනාධිපතිතුමා මට කතා කළා. කාගෙන් අහලද නිශාන්තව මාරු කළේ කියලා. මම කිව්වා සර්මනේ කිවවේ මාරු කරන්න කියලා. මම කිව්වේ නෑ මාරු කරන්න කියලා. දඩස් ගාලා ෆෝන් එක තිබ්බා. දින කිහිපයකට පස්සේ මම ජනපති හමුවෙන්න ගියා. ජනාධිපතිතුමා මට කිව්වා බලන්නකෝ ලේකම්තුමා මෙයා කරලා තියෙන දේ. පොලිස් කොමිසමටත් ලියලනේ. ආයි ආරක්ෂක කවුන්සිලයට පොලිස්පති ගෙන්වන්න එපා කියලා මට නියෝග කළා.
ඒ අනුව ජනාධිපතිතුමාගේ නියෝගය මම පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට දැනුම් දුන්නා. පොලිස්පති වෙනුවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා ආරක්ෂක කවුන්සිලයට ගෙන්වුවා.
මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සාක්ෂිකරුගෙන් විමසා සිටියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කවදා හෝ ඔබේ ඔළුව හොඳ නැද්ද යනුවෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් විමසා ඇද්ද යන්නයි. එයට පිළිතුරු දෙමින් හේමසිරි ප්‍රනාන්දු මහතා කියා සිටියේ අපෝ ඕන තරම් අහලා තියෙනවා යනුවෙන්.