මංතීරු නීතියට පටහැනි ලෙස කටයුතු කරන රියදුරන්ට එරෙහිව හෙට සිට නීතිය ක්‍රියාත්මක කරන බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතා පවසනවා.
යතුරු පැදි සහ ත්‍රීරෝද රථ රියදුරන් සම්බන්ධයෙන් මංතීරු නීතිය ක්‍රියාත්මක වන ආකාරය පරීක්ෂා කිරීමට රාජගිරිය වටරවුම ප්‍රදේශයට අද පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා මේ බව සඳහන් කළේ.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=XzALbfm21Sk&feature=youtu.be&fbclid=IwAR2iCojJkti4Jf85fxRKQS0cVdVxHOSO_CQO030hE6WsXeDFnIbq7SdIK8I”]
2018 වසරේ නිකුත් කළ නව දඩ පත්‍රිකාවේ වැරදි 33 අතර මංතීරු නීතියට අදාළව රුපියල් දෙදෙහසක දඩයක් නියම කිරීමට හැකි වනවා. එම නීතිය සම්බන්ධයෙන් මාධ්‍ය ඔස්සේ සති දෙකක පමණ කාලයක් දැනුවත් කිරීම් සිදුකර තිබෙන බවද ඉන්දික හපුගොඩ මහතා පෙන්වා දුන්නා.
පසුගිය සඳුදා, අගහරුවාදා සහ අද දින මංතීරු නීතිය අත්හදා බැලීමට ලක් කළ අතර ඒ සඳහා පොලිස් නිලධාරීන් 1500 දෙනෙකු හා කාන්තා නිලධාරීන් දෙසිය දෙනෙකු පමණ යොදවනු ලැබුවා. වාහන තදබදය ඇති ස්ථාන හඳුනා ගැනීමට මෙන්ම මංතීරු නීතිය උල්ලංඝනය කරන රියදුරන් හඳුනා ගැනීමට ගුවන් හමුදාවේ ඩ්‍රෝන කැමරා භාවිත කෙරෙනවා. ශ්‍රී ජයවර්ධනපුර , ගාලු , බ්රේස්ලයින් සහ හයිලෙවල් මාර්ග තෝරා ගනිමින් මංතීරු නීතිය යටතේ ධාවනය කිරිමට මෙම දින තුළ කටයුතු කෙරුණා. මෙම වැඩපිළිවෙළ තුළින් අපේක්ෂා කළ ආකාරයට යතුරුපැදිකරුවන් සහ ත්‍රීරෝද රථ ධාවකයන් නීතිය නිසියාකාරයෙන් පිළිනොපැදි බවද හපුගොඩ මහතා පවසනවා.
බස් රථ ධාවනය වන මංතීරුවේ යතුරුපැදිකරුවන්ට සහ ත්‍රීරෝද රථ රියදුරන්ට ධාවනය කිරීමට හැකි අතර සෑම බස් රථ නැවතුමකම පොලිස් නිලධාරීන් යොදවා බස් රථ නවත්වන ආකාරයත් ත්‍රීරෝද රථ හා යතුරුපැදි ධාවන කරන ආකාරයත් පරීක්ෂා කෙරෙනවා. මෙම වැඩසටහන සඳහා යුද හමුදා පොලිසියේ සහායද අද දිනයේදී ලැබී තිබුණා. ඉදිරියේදී මාර්ග සංවර්ධන අධිකාරිය සහ ප්‍රවාහන අමාත්‍යාංශය එක්ව මාර්ග සංවර්ධනය කිරීමේදී ත්‍රීරෝද රථ සහ යතුරුපැදි සදහාද මංතීරුවක් වෙන් කිරීමට නියමිතයි.