ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයේ ඉදිකිරීම් 2024 වසරේදී අවසන් කර ප්‍රධාන මාර්ග පද්ධතියට සම්බන්ධ කිරීමේ වගකීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට පැවරුවා.
පහසුවෙන් ඉක්මණින් හා ආරක්ෂාකාරීව තම ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගැනීම සෑම පුරවැසියෙකුම සතු අයිතියක් බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/491_KiYAIg0″]
ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළා. ප්‍රවාහන පද්ධතියේ පසුගාමීත්වය සහ බිඳුණු අන්තර් සබඳතාව අවසන් කර කාර්යක්ෂම සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් මාර්ග පද්ධතියක් හඳුන්වාදීම සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් සහතික කර තිබෙනවා. රට පුරා ග්‍රාමීය සහ අතුරු මාර්ග කිලෝමීටර් ලක්ෂයේ ඉදිකිරීම් පරිසරය රැකෙන පරිදි සිදුකළ යුතු බවයි ජනාධිපතිතුමා අවධාරණය කළේ. කුඩා පාලම්, වැල් පාලම් සහ ඒ දඩු වෙනුවට නව පාලම් ඉදිකළ යුතුයි. ගත වූ මාස කිහිපය තුළ මාර්ග කිලෝමීටර් අටදහසක වැඩ ආරම්භ කර තිබෙනවා. ඉන් මාර්ග කිලෝමීටර් හාරසියයක ඉදිකිරීම් සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බවයි මෙහිදී හෙළි කෙරුණේ. මාර්ග ඉදිකිරීමේදී යොදා ගන්නා පස්, ගල් සහ වැලි අවශ්‍ය ප්‍රමාණය සපයා දීමේ වගකීම දිස්ත්‍රික් ලේකම්වරුන්ට පැවරෙන බවයි ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ. සම්පත් සම්පාදනයට අනුමැතිය දිය යුතු පරිසරය, වනජීවී , වන සංරක්ෂණ සහ පුරාවිද්‍යා ඇතුළු සියලු ආයතන දිස්ත්‍රික් මට්ටමින් රැස්ව පූර්ව අනුමැතිය දිය යුතු බවද ජනාධිපතිතුමා අවධාරණය කළා. ප්‍රධාන මහාමාර්ග දෙපස පැල මිලියන දෙකක් රෝපණය කිරීමටද සාකච්ඡාවේදී තීරණය වුණා. මාර්ග ඉදිකිරීම් අධීක්ෂණය රජය සහ කොන්ත්රාත්කරුවන පාර්ශ්ව දෙකෙන්ම විය යුතුයි. උප කොන්ත්‍රාත් දීමට කිසිවිටෙකත් ඉඩ නොදීමේ අවශ්‍යතාවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. සියලු ප්‍රධාන මාර්ග දෙපස පදික වේදිකා මත වාහන නවතා තැබීම සම්පූර්ණයෙන්ම නතර කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන්නා. අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා, ආර්ථික පුනර්ජීවනය පිළිබද ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම සාකචඡාවට එක්ව සිටියා.