යහපාලන රජය පිහිටුවීමට දායක වූ දේශපාලන නියෝජිතයින් පිරිසක් සහ සහරාන් හෂීම් අතර සිදුවූ දීර්ඝ සාකච්ඡාවකට සම්බන්ධ වීඩියෝ පඨයක් පාස්කු ප්රහාරය පිළිබදව විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම් සභාවේදී ඊයේ පළමු වරට නිකුත් කෙරුණා.
යහපාලනය සදහා වූ ජාතික සංවිධානයෙන් 2015 මහ මැතිවරණය සදහා ඉදිරිපත් වූ මොහොමඩ් මුස්තාපා නැමැත්තා පාස්කු ප්රහාරය පිළිබදව විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම් සභාවේදී ඊයේ සාක්ෂි ලබාදෙන විටයි මෙම වීඩියෝ පටය ප්රදර්ශනය කෙරුණේ. මෙම වීඩියෝ පටයට අනුව නැගෙනහිර පළාත් සභාවේ මුස්ලිම් කොන්ග්රස් හිටපු මන්ත්රී සිබිලි ෆාරුක් සහ මොහොමඩ් මුස්තාපා යන අය පාස්කු ප්රහාරය එල්ල කළ සහරාන් හෂීම් සමග සාකච්ඡාවක නිරත වන අයුරු පැහැදිලි ව සටහන් වී තිබෙනවා. එමෙන්ම සහරාන් හෂීම් අසළ රැදී සිටින අනිත් පුද්ගලයා සහරාන්ගේ සහෝදරයෙකු වන ෂෙයික් මොහොමඩ් ලෙසයි හදුනාගෙන තිබෙන්නේ. මෙහිදී අනුව නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාරවරයා වන එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා වෙත අරාබියෙන් ලැබුණු සෞදි රියාල් බිලියනයක පමණ මුදලක් සම්බන්ධයෙන් සිබිලි ෆාරුක් හා සහරාන් හෂීම් අතර සංවාදයක් ගොඩනැගී තිබෙනවා.
එම මුදල හිස්බුල්ලාගේ දේශපාලන කටයුතු සදහා අරාබියෙන් හෝ හීරා පදනමෙන් ලැබුණු ඒවාද යන්න මෙහිදී සහරාන් හෂීම් මුස්ලිම් කොන්ග්රස් මන්ත්රී සිබිලි ෆාරුක්ගෙන් විමසන අයුරු මෙම වීඩියෝ පටයේ මනාව සටහන් වී තිබෙනවා. කෙසේ වෙතත් එම මුදල් හිස්බුල්ලාගේ දේශපාලන කටයුතු සදහා වියදම් කිරීම සම්බන්ධයෙන් තම විරෝධතාවක් නොමැති බවයි සහරාන් හෂීම් මෙහිදී සටහන් කර තිබෙන්නේ. අනතුරුව කොමිසන් සභාව සාක්ෂිකරු වන මොහොමඩ් මුස්තාපාගෙන් විමසා සිටියේ සිබ්ලි ෆාරුක් සහ තමන් අදාළ දිනයේදී සහරාන් හෂීම් හමුවූයේ කුමන කාරනයක් සදහාද යන්නයි. ඊට පිළිතුරු ලබාදෙමින් සාක්ෂිකරු සදහන් කළේ මෙම සාකච්ඡාව දේශපාලන සාකච්ඡාවක් බවයි. මෙය 2015 මහ මැතිවරණයට සතියකට පමණ පෙර සහරාන් හෂීම්ගේ කාර්යාලයේදී සිදුවූ බව ඔහු වැඩි දුරටත් සදහන් කළා.