වැඩ තහනමට ලක්ව සිටින කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතාට දේශපාලන පළිගැනීම් පිළිබද සොයා බලන ජනාධිපති කොමිසම දැඩිව අවවාද කළා. ඒ අධිකරණ ක්‍රියාවලිය හෑල්ලුවට ලක්කරමින් ජනතා විශ්වාසය කඩවන අයුරින් කටයුතු කර ඇති බවට චෝදනා කරමිනුයි.
ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමට කළ පැමිණිල්ලකට අනුවයි වැඩතහනමට ලක්ව සිටින කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා කොමිසම හමුවේ අද පෙනී සිටියේ. පැමිණිල්ල ඉදිරිපත් කළ නිහාල් ජයතිලක මහතා මීට පෙර සාක්ෂි ලබාදෙමින් සඳහන් කළේ 2015 වසරේ අප්‍රේල් 22 වනදා තමා ඇතුළු පිරිස කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේ අධිකරණ භූමියේ බන්ධනාගාර බස් රථයක් තිබූ බවයි.
එහි මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා ද සිටි බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණා. ඒ අනුවයි ධම්මික හේමපාල මහතා කොමිසමට කැදවූයේ. හේමපාල මහතා මෙහිදී සඳහන් කළේ අධිකරණ සේවා කොමිසන් සභාවේ අවසරයක් නොමැතිව සාක්ෂි ලබාදිය නොහැකි බවයි. අනවශ්‍ය දේවල් පටලව ගන්න එපා. මේක හොඳට මතක තියා ගන්න. ඉහළ අධිකරණවල හිටපු විනිශ්චයකාරවරුන් දෙන්නෙක් මෙතන ඉන්නවා. කෙහේවත් තියෙන අධිකරණ සේවා කොමිසන් සභාව මේකට ගාවගන්න එපා. සීමාවේ ඉදගෙන ප්‍රශ්න අහන හැටි අපි හොඳට දන්නවා යනුවෙන් කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා ධම්මික හේමපාල මහතාට දැඩිව අවවාද කරමින් කියා සිටියා. මේ වන විට වැඩ තහනමට ලක්ව ඇති නිසා අධිකරණ සේවා කොමිසන් සභාවේ අවසරය නොමැතිව සාක්ෂි ලබාදීමේ හැකියාව සාක්ෂිකරුට ඇති බව කොමිසම තවදුරටත් අවධාරණය කළා.
මේ අතර යහපාලන ආණ්ඩු සමයේ පිහිටවනු ලැබූ දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලයේ සාමාජිකයින්ට නඩත්තු දීමනා සහ වැටුප් ඇතු`ඵ ගෙවීම් පිළිබඳ වන ලේඛනයක් අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම්වරයෙකු වන නීතිඥ ගනේෂ් ධර්මවර්ධන මහතා කොමිසමට අද ඉදිරිපත් කළා. එය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව කොමිසමේ සභාපති විනිසුරුවරයා සඳහන් කළේ දූෂණ හොයන්න ගිය තැනම තමා ලොකුම දූෂණය වෙලා තියෙන්නේ. හිටපු අගමැති රනිල් වික්රමසිංහයි, මංගල සමරවීරයි මේ ගැන ඇහුවාම මෙහෙම කමිටුවක් ගැන දන්නෙවත් නෑ කියලා කිව්වා. ඒ නිසා මේ මහ බොරුව හෙළිදරව් කිරීම වැදගත් නිසා මේක මාධ්‍යයට ලබා දෙන්නැයි කොමිසම නියෝග කළා.