බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ප්රබල පාතාල කල්ලි සාමාජිකයින් වන කොස්ගොඩ තාරක, පොඩි ලැසී, වෙලේසුදා සහ කංජිපානි ඉම්රාන් ඇතුළු රැදවියන් 45 දෙනෙකු ඊයේ ආහාර වර්ජනයක් ආරම්භ කළා. මේ වන විට ඉන් 13 දෙනෙකු වර්ජනය අත්හැර ඇති බවයි බන්ධනාගාර පාලන පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා අප කළ විමසීමකදී ප්රකාශ කළේ.
ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙම ආහාර වර්ජනය ඊයේ ආරම්භ කෙරුණා. කොවිඩ් නයින්ටීන් උවදුර හේතුවෙන් රැදවියන්ගේ ඥාතීන් බන්ධනාගාරය වෙත පැමිණීම සතියකට එක් අයෙකු ලෙස සීමා කර තිබෙනවා. ඊට එරෙහිව සහ නීතීඥයින් හමුවීමේ වේලාව වැඩි කරන්නැයිද රැදවියන්ට දුරකතන පහසුකම් ලබාදෙන්නැයි ද ආහාර වර්ජනයේ නිරතවූවන් ඉල්ලා සිටියා. එමෙන්ම උසාවිය වෙත ගොස් නැවත බන්ධනාගාරය වෙත පැමිණීමේදී සිදුකරන විශේෂ සෝදිසිය ලිහිල්කිරීම ද එම රැදවියන්ගේ ඉල්ලීම් අතර වනවා. කෙසේ වෙතත් ඊයේ රාත්රිය වන විට රැදවූවන් පස් දෙනෙකු වර්ජනය අත්හැරීමට කටයුතු කළා. අද දවසේ තවත් 8 දෙනෙකු එය අත්හැර දමා තිබෙනවා.
මේ අතර මෙම ආහාර වර්ජනයට ඒක්වූ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානී ඉම්රාන් නමැත්තා නාවික හමුදා රෝහල වෙත ඇතුලත් කිරීමට කටයුතු කර තිබෙනවා.
ප්රබල අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් රැසක් බූස්ස බන්ධනාගාරයේ රදවා සිටිනවා. ඒම බන්ධනාගාරයේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන්නේ පොලිස් විශේෂ කාර්ය බලකායයි. එහි දැඩි ආරක්ෂාවක් යොදවා තිබෙන්නේ රටේ සහ මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණෙන්. ඒවැනි පසුබිමකයි මෙම අපරාධකරුවන් මෙවැනි ඉල්ලීම් සිදුකරන්නේ.