fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රවිරාජ් ඝාතනය ගැන හිටපු අගමැති රනිල් ගෙතූ බොරුත් හෙළිවෙයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 9, 2020 18:59

දෙමළ සන්ධාන යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් අසත්‍ය සාක්‍ෂි නිර්මාණය කරන්නැයි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවට මැදිහත් වීම් කළේ යැයි නාවික හමුදා බුද්ධි අංශ හිටපු නිලධාරී ගාමිණී සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළා. ඒ දේශපාලන පළිගැනීම් පිළිබද සොයා බලන ජනාධිපති පරික්‍ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්‍ෂි ලබා දෙමින්.

නාවික හමුදා බුද්ධි අංශ හිටපු නිලධාරී ගාමිණී සෙනෙවිරත්න මහතා කොමිසම හමුවේ කියාසිටියේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට 2015 මාර්තු 15 වනදා අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවට තමා කැඳ වූ බවයි. එහිදී උප පොලිස් පරික්‍ෂක අමරවංශ නමැත්තා තමන් අමතා නඩරාජා රවිරාජ්ට වෙඩි තිබ්බේ උඹ. ඒ වෙලාවේ උඹේ අත තුවාල වුණා. ඩී එන් ඒ ටෙස්ට් එකක් කරලා ඒ ගැන ඔප්පු කරනවා. ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයාගේ උවමනාවට වසන්ත කරන්නාගොඩ මහත්තයාට කියලා අපි රවිරාජ්ට වෙඩි තිබ්බා යැයි පවසලා රජයේ සාක්‍ෂිකාරයෙක් වෙලා ගෙදර යන්න යනුවෙන් ඔහු ප්‍රකාශ කළ බව ද සාක්‍ෂිකරු සඳහන් කළා.

ඉන් නොනැවතුණු උප පොලිස් පරික්‍ෂක අමරවංශ එක් අවස්ථාවක උඹ මේ මිනීමැරුම භාර ගනිං. මට මේක හිසරදයක්. රනිල් වික්‍රමසිංහ, ජෝන් අමරතුංග, එම් ඒ සුමන්තිරන්, සමන් රත්නප්‍රිය කෝල් කරලා මේ ගැන අහනවා යනුවෙන් තමාට ප්‍රකාශ කළ බව ද ගාමිණී සෙනෙවිරත්න මහතා තවදුරටත් කොමිසම හමුවේ කියාසිටියා. කොමිසමේ සභාපති විනිසුරු උපාලි අබේරත්න මහතා මෙහිදී විමසා සිටියේ ඩී එන් ඒ පරික්‍ෂණයේ වාර්තාවක් ලැබී ඇත් ද යන්නයි.

මෙතෙක් තමාගෙන් ලබාගත් ලේ සාම්පල වාර්තාවක් ලැබී නොමැති අතර එම ඩී එන් ඒ වාර්තාව තමාට මෙම චෝදනාවෙන් නිදහස් වීමට ඇති සාධකයක් බවත් අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව එම සාක්‍ෂි සඟවා ඇති බවත් සෙනෙවිරත්න මහතා තවදුරටත් කියාසිටියා. එම දෙපාර්තමේන්තු නිලධාරීන්ට අවනත නොවීම හේතුවෙන් තමා අත්අඩංගුවට ගෙන මාස 22 ක් රක්‍ෂිත බන්ධනාගාරගත කළ බවයි සාක්‍ෂිකරු සඳහන් කළේ.

ඉන් මාස 11 ක්ම තමා රඳවා තැබුවේ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් හා පාතාල කල්ලි සාමාජිකයන් රඳවා තබන වැලිකඩ බන්ධනාගාරයේ අයි වාට්ටුවේ සිරමැදිරියක බව ද හිටපු නාවික බුද්ධි අංශ නිලධාරියා කියාසිටියා. නඩු කටයුතු සඳහා තම නිවස ඇතුලු දේපළ සියල්ල උකස් කර ඇති බවත් රාජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පමණක් නඩුවට අදාළව රුපියල් ලක්‍ෂ 2 ක මුදලක් තමාට ලබා දී ඇති බවත් සංවේදීව සාක්‍ෂි ලබා දෙමින් ගාමිණී සෙනෙවිරත්න මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 9, 2020 18:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්