ඇප මත මුදා හැර සිටින ගානියා අධිකරණය හමුවේ පෙනී සිටී
Related Articles
කොළඹ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන ගානියා බැනිස්ටර් නමැති නිලධාරිනියක පැහැරගෙන ගියේ යැයි කියනු ලබන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් නොවැම්බර් මස 5වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.
පැමිණිල්ල අද කැඳ වූ අවස්ථාවේදී ඇප මත මුදා හැර සිටින ගානියා බැනිස්ටර් නමැත්තිය අධිකරණය හමුවේ පෙනී සිටියා. මෙම විමර්ශනයට අදාළව සොයාගෙන ඇති පැය හයසිය හතකින් පමණ යුතු සී සී ටී වී දර්ශන විශ්ලේෂණය කර වාර්තා ලබා ගැනීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කළේ. එම සම්පූර්ණ වාර්තාව ලබාදීම සඳහා මාස දහයක පමණ කාලයක් ගතවනු ඇතැයි රජයේ රස පරීක්ෂකවරයා දැනුම් දී ඇති බවද ඔවුන් පැවසුවා.
පැහැර ගැනීම සිදු වූ බව කියන නොවැම්බර් මස 25 වනදා පැය දාහතරයි තිහේ සිට දහඅටයි තිහ දක්වා වූ කාලසීමාවට අයත් වීඩියෝ දර්ශන විශ්ලේෂණය කර වාර්තා කැඳවීමට පියවර ගන්නා ලෙස මෙහිදී මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා. සැකකාර කාන්තාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කාරියප්පෙරුම මහතා සදහන් කළේ සිද්ධියට සතියකට පමණ පෙර කාලයට අදාළ වන සී සී ටී වී දර්ශන රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තාවක් කැදවිය යුතු බවයි. මෙවැනි ඉල්ලීමක් කරන්නේ ඇයිද යන්න පිළිබඳව අවශ්‍ය දත්තද සමග මී ළග නඩු දිනයේදී කරුණු දක්වන ලෙස මහේස්ත්‍රාත්වරිය නීතිඥවරයාට දැන්වුවා. නඩුව නොවැම්බර් මස 5 වනදා නැවත කැඳවීමටයි මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ.