මාර්ග කිලෝමීටර ලක්ෂයක් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල යටතේ පළාත් සභා වලට අයත් සියලු මාර්ග හා පළාත් පාලන ආයතනවලට අයත් තෝරාගත් ප්‍රධාන මාර්ග සංවර්ධනය කිරීමට තීරණය කර තිබෙනවා.
ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සදහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළා.
සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ යටතේ මහාමාර්ග අමාත්‍යංශය සහ ග්‍රාමීය මාර්ග සහ අවශේෂ පහසුකම් රාජ්‍ය අමාත්‍යංශයේ මෙහෙයවීම යටතේ පළාත් බද මාර්ග සංවර්ධන අධිකාරිය හා දෙපාර්තමේන්තුව මගින් මෙය ක්‍රියාත්මක කෙරෙනවා. වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී ජල සම්පාදන හා විදුලිබල මණ්ඩල මෙන්ම අදාළ ආයතන සමග සම්බන්ධ වී කටයුතු කිරීමේ වැදගත්කමද සාකච්ඡාවේදී අවධාරණය කෙරුණා.
මාර්ග සකස් කිරීමේ ප්‍රමුඛතා ලැයිස්තුවක් අදාළ ආයතනවලට ලබාදීම තුළින් විටින් විට මාර්ග කැඩීම වෙනුවට මාර්ග සකස් කරන අවස්ථාවේදීම ජල සැපයුම සදහා අවශ්‍ය පහසුකම් සැලසීම ආදී කටයුතු අවසන් කර ගැනීමේ හැකියාව ඇති බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. මාර්ග සකස් කිරීමේදී පරිසරයද රැක ගැනීමට ප්‍රමුඛතාව ලබාදිය යූතුයි.
මෙහිදී මාර්ග දෙපස ගස් වර්ග සිටුවීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දුන්නා. ඉදිකිරීම් ක්ෂෙත්රයේ ප්‍රවර්ධනය ග්‍රාමීය හා නාගරික රැකියා අවස්ථා වැඩි කිරීම, දළ ජාතික ආදායම ඉහළ නැංවීම වැනි අරමුණු කෙරෙහි මෙම වැඩපිළිවෙළේ දායකත්වය පිළිබදවද අවධානය යොමු කෙරුණා.
අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා පළාත් ආණ්ඩුකාරවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙම සාකච්ඡාවට ඒක්ව සිටියා.