fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කහවලටත් ගම්මිරිස්වලටත් ස්ථාවර මිලක් දෙන්න ජනපති සූදානම්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 3, 2020 18:07

කහ සහ ගම්මිරිස් වලට ස්ථාවර මිලක් ලබාදී වගාකරුවන් රැකගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළා. ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ.

උක්, බඩ ඉරිගු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාඹුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලිබෝග වගා සංවර්ධනය ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැළසුම් පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. කහ සහ ගම්මිරිස් වගාකරුවන් ආරක්ෂා කිරීමට එම භෝග ආනයනය සම්පූර්ණයෙන්ම නතර කෙරුණා. ජාත්‍යන්තර වෙළෙඳපොල සොයා අපනයනය මගින් උපරිම මිලක් ඉපැයීමට අවශ්‍ය පරිසරය සැකසීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. කහ සහ ගම්මිරිස් අවශ්‍යතාව දේශීය වගාවෙන් සපුරා ගැනීමටත් අගය එකතුකළ නිෂ්පාදන ලෙස අපනයනයටත් විධිමත් සැළසුම් සැකසීම පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා. මෙරට වාර්ෂික බඩ ඉරිගු ඉල්ලුම මෙට්‍රික්ටොන් ලක්ෂ පහක්. එය සපුරා ගැනීමට හෙක්ටාර එක්ලක්ෂ දසදහසක් වගාකළ යුතු වෙනවා. හෙක්ටාර අසූදහසක දැනට බඩඉරිගු වගාකෙරෙන අතර ඉදිරි වසර අවසාන වනවිට හෙක්ටාර එක්ලක්ෂ දසදහස දක්වා එය වැඩිකිරීම රජයේ අරමුණයි. ගම්මාන සියයක කහ සහ ඉගුරු වගා කිරීමට පියවර ගෙන ඇති අතර කුරුදුගහහැතැප්ම ප්‍රදේශයේ අපනයන කලාපයක් ආරම්භ කිරීමට ද සැළසුම්කර තිබෙනවා.

මිරිස් පරිභෝජනය වෙනුවට ජනතාව අතර ගම්මිරිස් ප්‍රචලිත කිරීමේ වැදගත්කම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දුන්නා. මෙරට බුලත්වල ප්‍රධාන ගැනුම්කරුවෙක් වන්නේ පාකිස්තානයයි. කොවිඩ් වසංගතයත් සමග ගුවන් වාර සීමාවීම හේතුවෙන් අපනයන පහත වැටුණා. ගුවන් සමාගම් සමග සාකච්ඡාකර ඊට විසදුම් සොයන්නැයි ජනාධිපතිතුමා මෙම සාකච්ඡාවේදී උපදෙස් ලබාදුන්නා. විශ්වවිද්‍යාල මගින් සුලු අපනයන භෝග ආශ්‍රිත අගය එකතුකිරීමේ නිෂ්පාදන පිළිබද පර්යේෂණ පුළුල් කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිතුමා අවධාරණය කළා. උක් කර්මාන්තය හා කජු වගාවේ ප්‍රවර්ධනය සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝවශයෙන් සාකච්ඡා කෙරුණා. අමාත්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර,  ආර්ථික පුනර්ජීවනය පිළිබද ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 3, 2020 18:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්